ගල් අඟුරු වංචාව සහ කොමිෂන් සභා ඉතිහාසය!

0
ජාතික ජනබලවේග රජය යටතේ සිදු වී ඇතැයි කියනු ලබන ගල් අඟුරු වංචාව පිළිබඳව බරපතළ සමාජ කථිකාවතක් නිර්මාණය වී තිබේ. අදාළ ඇමැතිවරයාව තවදුරටත් ආරක්ෂා කිරීම පිළිබඳව සමාජ විරෝධය මේ වන විට උග්‍ර තලයකට පත්ව තිබේ. අතීතයේදී මෙවැනිම ආකාරයට විවිධ චෝදනා සම්බන්ධයෙන් රජයට ප්‍රභල විරෝධයක් එල්ල වූ සෑම අවස්ථාවකදීම මෙවැනි කොමිෂන් සභා පත්කිරීම ඉතිහාසය පුරාම සිදුව ඇති බව පෙනේ. වත්මන් රජය ද එම මඟ යමින් 2009 වසරේ සිට වර්තමානය දක්වා සිදු වූ සෑම ගල් අඟුරු ගනුදෙනුවක් සම්බන්ධයෙන්ම සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කිරීමට තීරණය කර ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. 


පැහැදිලිවම සිදුව ඇති මෙම ගල් අඟුරු වංචාව පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ගයකින් තොරව මෙවැනි කොමිෂන් සභාවක් පත් කිරීම කිසිසේත් සාධාරනීකරණය කළ නොහැකි ය. බොහෝ විට මෙවැනි කොමිෂන් සභාවක් පත් කිරීමෙන් සෑම රජයක්ම බලාපොරොත්තු වූ එක් අරමුණක් වූයේ මහජන විරෝධය සමනය වනතුරු කාලය ලබා ගැනීමට කටයුතු කිරීමයි. නැතහොත් අනෙක් අරමුණ වූයේ දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට සහ ඔවුන්ට මඩ ගැසීමට මෙම කොමිෂන් සභා යොදා ගැනීමයි. අප රටේ නෛතික අණපනත්වල ක්‍රියාකාරීත්වය හා ඉහළ අධිකරණ තීන්දු මත ශක්තිමත් නෛතික සංස්කෘතියක් අප රට තුළ බිහි වී තිබේ. එම නෛතික සංස්කෘතිය තුළ කලින් කලට නොයෙක් ප්‍රවණතා නව සංකල්ප හා මතවාදයන් මතුවීම ස්වභාවික ය. විශේෂ පරීක්ෂණ කොමිෂන් සභා, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා එහි අතුරු ප්‍රතිඵලයන් ය. 


ඉතිහාසය පිළිබඳ විමසා බැලීමේදී නිදහස් ලංකාවේ ප්‍රථම වරට අප රටට කොමිෂන් සභා ක්‍රමය හඳුන්වා දුන්නේ 1956 බලයට පත් වූ බණ්ඩාරනායක රජය බව පෙනී යයි. මහජන මන්ත්‍රීන්ගේ අල්ලස් ආදිය පිළිබඳ සෙවීමට පත්කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිෂම එවැන්නකි. විශේෂයෙන් අධිකරණමය ක්‍රියාවලියකට වඩා පුළුල් පරාසයක් තුළ කරුණු සෙවීමේ අවස්ථාවන් කොමිෂන් සභාවකට තිබේ. නමුත් ක්‍රියාත්මක තලයේදී බොහෝ විට සිදුව ඇත්තේ එවැන්නක් නොවන බව කොමිෂන් සභා ඉතිහාසය පුරාවට මැනවින් ඔප්පු වී තිබේ. විශේෂයෙන්ම යම් යම් දේශපාලන කාරණා නිසා සමහර ප්‍රශ්න විසඳීමට නොව අදාළ පුද්ගලයන් නීතියේ රැහැනට අසුකර ගැනීමට පවතින ආණ්ඩුවලට අවශ්‍ය නොවන අවස්ථාවලදී ජනතා විරෝධය සමනය කිරීම සඳහා කොමිෂන් සභා පත් කිරීම අපට අලුත් අත්දැකීමක් නොවේ. වසර ගණනාවක් කොමිෂන් සභාව සිය කටයුතු කරගෙන යන අතරතුර ජනතාවගේ විරෝධය ඉබේම සමනය වී තිබේ. 


බණ්ඩාරනායක පාලන සමයේ ආරම්භ වූ කොමිෂන් සභා සංස්කෘතිය 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී ද ක්‍රියාත්මකව තිබූ බව පෙනේ. විශාල ආන්දෝලනයකට ලක් වූ 1980දී සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ මෙවැනි කොමිෂන් සභාවක තීරණයක් මත ය. මෙයට පසුව අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කොමිෂන් සභාව, බටලන්ද කොමිෂම, ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිළිබඳ සොයා බැලීමේ කොමිෂම වැදගත් වේ. විශේෂයෙන් ලලිත් ඇතුළත්මුදලි ඝාතන කොමිෂම විශාල ප්‍රතිචාරයක් සහිතව ක්‍රියාත්මක විය. නමුත් පසුව එම කොමිෂම ලබාදුන් තීන්දු වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීරණය කරන ලදි. විශේෂයෙන් දේශපාලන ඉතිහාසය අනුව බලන කල කොමිෂමක් ලබාදුන් තීන්දුවක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රතික්ෂේප වූ සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි ය. විශේෂයෙන්ම මෙරට ක්‍රියාත්මක වූ කොමිෂන් සභා තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ ප්‍රධානතම කාරණය වන්නේ එම කොමිෂන් සභා පිහිටුවීම තුළ සැඟවුණු දේශපාලනික අදහස් හා මතවාද නිසා බව ඉතාමත් පැහැදිලි ය. 



උදාහරණ වශයෙන් එවකට තිබූ ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වූ ඇතුළත්මුදලි ඝාතනය සම්බන්ධ කොමිෂමක් පත්කළ ආණ්ඩුව, රෝහණ විජේවීර, ගාමිණී දිසානායක, වැනි ඝාතන සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කොමිෂන් සභා පත්කළේ නැත. මෙරට දූෂිතම මැතිවරණය ලෙස ඉතිහාසගත වූ වයඹ පළාත් සභා මැතිවරණයේදී සිදු වූ ක්‍රියාවලීන් සොයා බැලීමට පත්කළ කොමිෂන් සභාවේ වාර්තාවක් හෝ එළිදැක්වූවා ද යන්න ජනතාවට මතක නැත. කොමිෂන් සභා පත්කිරීම සම්බන්ධයෙන් මේ රටේ පනවන ලද පළමු පනත වූයේ 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත යි. එම පනතට අනුව යම් රජයේ දෙපාර්තමේන්තුවක් සම්බන්ධයෙන් හෝ යම් සේවකයකු හෝ මහජනයාගේ ආරක්ෂාව සහ සුභසිද්ධිය සඳහා හෝ යම් කරුණු සොයා බැලීම සහ ආණ්ඩුකාරවරයා අවශ්‍ය යැයි සිතූ අවස්ථාවක කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහා එක් අයකුගෙන් හෝ කිහිප දෙනෙකුගෙන් සමන්විත කොමිෂමක් පත් කිරිමට ආණ්ඩුකාරවරයාට බලය හිමි විය. මෙම පනත යටතේ පත් කරන ලද දේශපාලන වැදගත්කමකින් යුත් පළමු කොමිෂම වූයේ අගමැති බණ්ඩාරනායක ඝාතන සිද්ධිය සම්බන්ධව කරුණු සොයා බැලීමේ කොමිසමයි. විනිසුරු ටී. ඇස්. ප්‍රනාන්දු මහතාගේ සභාපතීත්වයෙන් පත් වූ මෙම කොමිෂන් සභාවට නියම වූයේ බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ග ගත් පුද්ගලයන්ට අමතරව මෙයට සම්බන්ධ තවත් අය සිටිනවා ද යන්න සොයා බැලීමයි. 



1948 කොමිෂන් සභා පනත යටතේ කොමිෂන් සභාවලට බලය පැවරුනේ කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පමණි. එහෙත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් සම්මත කළ 1978 අංක 07 දරන විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනත ඉතාම වැදගත් ය. මෙම පනතින් වරදකරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නිර්දේශ කිරීමේ බලය ද කොමිෂන් සභාවට හිමි වී ඇත්තේ ය. එම නිර්දේශ ගැසට් නිවේදනයක් මගින් පලකර පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් සම්මත වූ පසු එය බලාත්මක කිරීමේ හැකියාව පවතී. හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ මෙවැනි කොමිෂන් සභාවක නිර්දේශ මතය. 1978 අංක 07 දරන කොමිෂන් සභා පනතේ අරමුණ වන්නේ සාමාන්‍ය කොමිෂන් සභාවක් මෙන් නොව දේශපාලන පළිගැනීම්, බලය අයුතු ලෙස භාවිතා කිරීම හා දූෂණය පිළිබඳ විමර්ෂණය සඳහා කොමිෂන් සභා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වීමයි. විශේෂයෙන් පසුගිය ඉතිහාසය තුළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවල සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන්ගේ විශ්වසනීයත්වය පිළිබඳව බරපතළ ප්‍රශ්න පැන නැඟී තිබේ. ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිෂන් සභාවේ ප්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වූ සුභාෂ් අබේසේකර වැනි සාක්ෂිකරුවන් මෙයට උදාහරණයන් ය. 



ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය පිළිබඳ සොයා බැලීමේ කොමිෂන් සභාවේ සාක්ෂි දුන් රෝහිණී හතරුසිංහ නමැති කාන්තාවගේ සාක්ෂිය ද මෙයට උදාහරණයන් ය. විශේෂයෙන් මෙවැනි දේශපාලන අරමුණු වෙනුවෙන් පත්කරනු ලබන කොමිෂන් සභාවලට බොහෝ විට පත්කරන්නේ උසස් අධිකරණවල විනිසුරුතුමන්ලාය. එය නීතියේ ආධිපත්‍යයට බලවත් තර්ජනයක් වනු ඇති බවට සැකයක් නැත. මන්ද ලංකාවේ අධිකරණ පද්ධතිය හා එහි විනිසුරුවරුන් කෙරෙහි ජනතාව තුළ ඇත්තේ ප්‍රභල විශ්වාසයකි. දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍ය මෙන්ම විනිසුරුවන්ගේ ගෞරවය ද විනාශ කර දැමීමට කෙසේවත් ඉඩ දිය නොහැකි බව වගකීමෙන් යුතුව පෙන්වා දිය යුතුව ඇත. විශේෂයෙන් මෙවැනි විශේෂ කොමිෂන් සභාවල නිර්දේශ බොහොමයක් පසුගිය කාලය තුළ උපරිමාධිකරණවල බරපතළ දෝෂ දර්ශනයට ලක්වනවා දැකිය හැකි විය. 1995 පෙබරවාරි දෙවැනිදා ජනාධිපතිනිය ලබාදුන් අධිකාර පත්‍රයක් අනුව රාජ්‍ය ආයතනවල අයථා ක්‍රියා පිරීක්ෂණ විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවනු ලැබීය. මෙම කොමිසමේ ඉඩම් හුවමාරුවක් සම්බන්ධයෙන් විජයපාල මෙන්ඩිස් මහතාට එරෙහිව පැවති පරීක්ෂණයේදී මේ සම්බන්ධයෙන් සමතයකට පත් කිරීමට කොමිසම දරා ඇති උත්සාහය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීරණය කළේ ය. විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු මහතා විසින් ආචාර්ය අශෝක ඉසෙඩ් ගුණවර්ධන හා ඩී. වී. ඇස්. ගුණසේකර යන සෙසු විනිසුරුවන්ගේ එකඟතාවය අනුව ප්‍රකාශ කළ නියෝගයේ සඳහන්ව තිබුණේ කොමිසමේ කාර්යය විය යුතුව තිබුණේ බලය අයුතු ලෙස හා වැරදි ලෙස පාවිච්චි කළේ ද යන්න සොයා වාර්තා කිරීම මිස ඊට ප්‍රතිකර්ම යෙදීම නොවන බවත් ය. 


එසේම ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිෂන් සභාවේදී සිරිසේන කුරේ මහතාට නීතිඥයන් මගින් කොමිසම හමුවේ පෙනී සිටිමින් කරුණු කීමට අවස්ථාවක් නොදීම නිසාත් වටිනාකමක් නොමැති සාක්ෂි මත පදනම් වෙමින් තීරණ හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙන නිසාත් සිරිසේන කුරේ මහතාට එරෙහිව කරන ලද නිර්දේශ නීතිය හමුවේ සම්පූර්ණ නීති විරෝධී බව පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදි. විශේෂයෙන් මෙවැනි කොමිෂන් සභාවලට උපරිමාධිකරණ විශ්‍රාමික විනිසුරුවරුන් පත් කිරීමේදී එතුමන්ලාගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරීමට බලධාරීන් දැඩිව කටයුතු කළ යුතු ය. මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් අදහසක් ඉතාම ගෞරවනීය විනිසුරුවරයකු වූ ඒ. සී. අලස් මහතා විශ්‍රාමික විනිශ්චයකාරවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ අවස්ථාවේදී පලකළ අදහස ඉතාම වැදගත් වේ. “දේශපාලන ඝාතන පිළිබඳ හෝ සිය බලය අයථා ලෙසත් සාවද්‍ය ලෙසත් පාවිච්චි කළ දේශපාලකයන් පිළිබඳව හෝ අයථා කටයුතු සිදුකළ උසස් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව හෝ පරීක්ෂණ කරනු පිණිස පත්කරනු ලබන පත්කරන්නාක් වැනි දේශපාලන ලක්ෂණ සහිත කොමිෂන් සභාවලට උපරිමාධිකරණ විනිසුරුවන් පත්කරන විට තත්ත්වය වඩාත් සංකීර්ණ බවට පත්වන්නේ ය. එවැනි කොමිෂන් සභාවලදී කොමසාරිස්වරුන්ගේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන දේශපාලන මතභේදවලට හේතු වී ඇති කරුණුවලින් අදාළ විෂය තෝරා බේරා වෙන් කර ගැනීම බෙහෙවින් දුෂ්කර වනවා ඇත.” යනුවෙනි. 


පසුගිය කාලය තුළ ද ඒ ඒ රජයන් විසින් ජනාධිපති කොමිෂන් සභා කිහිපයක් පත් කිරීමට කටයුතු කර තිබුණි. බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමේ කොමිෂන් සභාව, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ කොමිෂන් සභාව, යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභාව ඒ අතර විය. මේ අනුව කිව යුත්තේ කොමිෂන් සභාවක් පත් කිරීමේ අරමුණ දේශපාලනික නොවන්නේ නම් එයින් ලබාගත හැකි ප්‍රතිඵල බොහෝ උසස් බවය. ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් පත් කිරීමට යන කොමිෂන් සභාව කෙරෙහි ජනතාව දැඩි අවධානයකින් පසුවන්නේ මෙවන් පසුබිමකය.


නීතිඥ නිශාන්ත සමන් කුමාර
(අධ්‍යාපනවේදී)

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome