සූරියවැව වට්ටක්කා ගොවියා දන්න් තරම්වත් මේ මහාචාර්ය, ආචාර්ය හා මේ මහා ප්‍රසාදනීය දන්නේ නෑ!

0


මහා භාණ්ඩාගාර වංචාව ඇත්තවශයෙන්ම අනාවරණය වෙන්නේ 2026 ජනවාරි මාසයේදීයි. 2026 මාර්තු මාසයේදී ඔවුන් කියන විදියට මේ මහාභාණ්ඩාගාර වංචාව පිළිබඳව පරීක්ෂණ කටයුතු රහස් පොලීසියට, ඒ වගේම පොලීසියේ සයිබර් අපරාධ අංශයට ලබා දීලා තියෙන බව කියනවා. ඒ වගේම 2026 අප්‍රේල් මාසයේදී මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන බවත් කියනවා. පස් දෙනෙකුගේ වැඩ තහනම් කරලා තියෙන බව කියනවා.


එතකොට මේ සිදුවුනේ කුමක්ද? ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය අනිල් ජයන්තට අනුව මේක හැකර්ලගේ වැඩක්. ඒකම තමයි ආණ්ඩුවේ බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ. නමුත් ඔවුන් මේ පැහැදිලි කරන කාරණය අනුව ගත්තාම, මේක තාක්ෂණිකව හැකර්ලගේ වැඩකට වඩා, මේක අපි සාමාන්‍යයෙන් මේ ක්ෂේත්‍රයේ හඳුනාගන්නේ මේක fishing attack එකක්, එහෙම නැත්නම් මේක බිලි පිත්තක් දාලා මේ ධනය නැමති මාළුවා බාගත්ත අවස්ථාවක් හැටියට. මේවා සාමාන්‍යයෙන් ව්‍යාපාරික ලෝකයේ වෙන දේවල්. එහෙම නැත්නම් මේ Business Email එකක් Compromise වීමක් හැටියට තමයි තියෙන්නේ. ඒ නිසා මේක හැකර්ලගේ ප්‍රහාරයක් හැටියට නම් පැහැදිලි කරගන්න බෑ.


ප්‍රශ්නය තියෙන්නේ මේ හැකර් කතාව හුඟක් දෙනෙක් හිතන්නේ මේ ආණ්ඩුවේ නොදැනුවත්කම නිසා වුණ කතාවක් කියලයි. මේ හැකර්ලගෙයි, fishing attack වලයි, BEC වලයි වෙනස හඳුනාගන්නේ නැතුව අර සුපුරුදු පරිදි ආණ්ඩුව කරන කාර්යයක් හැටියට. නමුත් මම අදහස් කරන්නේ නෑ එහෙම. මේ අය චේතනාන්විතව කියන කතාවක් .මයි මේ හැකර් කතාව. ඇයි? හැකර්වරු අදාළ පුද්ගලයින්ගේ දැනුවත් වීමකින් තොරව, ඒ තියෙන Firewall කොහොමහරි විදියකට විනිවිද ගිහිල්ලා අදාළ මුදල් සොරා ගැනීම හෝ දත්ත සොරා ගැනීම කරන කණ්ඩායම්. මේක එහෙම දෙයක් නෙවෙයි. මේක එහෙම දෙයක් නොවෙන තත්ත්වයට වෙනස්වෙන්නේ වාර්තා වෙන ආකාරයට අඩුම තරමින් 05 දෙනෙක් හෝ 18 දෙනෙකුගේ අනුමැතියකින්, ඒ අය විසින් Authorize කිරීමකින්, මහා බැංකුවෙත්, ඒ වගේම ජාතික ණය දෙපාර්තමේන්තුවෙත්, මුදල් අමාත්‍යාංශයෙත්, භාණ්ඩාගාරයෙත් පහළ මට්ටමේ ඉඳන් ඉහළ


මට්ටමට ලේකම්වරයා දක්වා දැනුවත්ව Authorize කරලා කරපු ක්‍රියාවක්. ඒකයි හැකර්වරයෙක් ඒ සියලු දෙනාම නොදැන යමක් හොරකම් කරන එක අතර ලොකු වෙනසක් තියෙන්නේ.


ඇයි මේක හැකර් කියලා කියන්නේ? ඉතා පැහැදිලිව අපිට පේන විදියට නම් මෙන්න මේ Authorize කරපු නිලධාරීන් පිරිස, අමාත්‍යාංශ ලේකම්වරයාත් එක්කම ගලවා ගැනීමේ අරමුණින් කරන ප්‍රචාරයක්.


අපිට දැනගන්න ඕනේ මේ කරුණු:


(1) මේ සිද්ධිය ගැන සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂණයක් කරනකොට රහස් පොලීසිය හෝ පොලීසිය සෑහීමකට පත් වෙනවා නම් අපරාධමය වරදක් වෙලා තියෙනවා කියලා, මහේස්ත්‍රාත්වරයා දැනුවත් කරලා අධිකරණය දැනුවත් නොකළේ ඇයි දණ්ඩ නීති සංග්‍රහයට අනුව?


(2) ඒ වගේම මෙවැනි අපරාධයක් පිළිබඳව නීතිපතිවරයා දැනුවත් කරලා ඒ නීතිපති කාර්යාලයේ දාපු ෆයිල් එක කෝ?


(3) ඒ වගේම මෙවැනි අපරාධයක් වාර්තා වුණාට පස්සේ නීතිපතිවරයාට පුළුවන් ස්වාධීනව පියවර ගන්න, ඔහු ගත් ක්‍රියාමාර්ගය කුමක්ද මේ සම්බන්ධයෙන්?


ඒ වගේම මෙතැනදී මම මතක් කරන්න ඕනේ මේ රටේ කීර්තිමත් අමාත්‍යාංශ ලේකම්වරයෙක් වෙන මායාදුන්නේ මහත්මයාව අත්අඩංගුවට ගත්තා, අමාත්‍යාංශ ලේකම්වරයෙක් හැටියට රුපියල් ලක්ෂයක් වියදම් කළා කියලා සමූපකාර දිනයට මේ ආණ්ඩුව විසින්. දැන් ලක්ෂ 8000ක්! ලක්ෂ 8000ක් වංචා කළාට පස්සේ කිසිදු ක්‍රියාමාර්ගයක් මාස හතරක් තිස්සේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය ජනතාව හැටියට, බදු ගෙවන ජනතාව හැටියට, ඒ වගේම මේ රටේ මූල්‍ය ක්ෂේත්‍රය ගැන දන්නා අය හැටියට අපිට අහන්න වෙන ප්‍රශ්නයක්.


ඊළඟට 2025 සැප්තැම්බර් මාසයේ සහ තවත් අවස්ථාවල මහා බැංකුව නිතර අපිට අනතුරු අඟවනවා අසවල් අසවල් සයිබර් ප්‍රහාර එල්ල වෙනවා කියලා, මොනවද ගත්ත ආරක්ෂක පියවර කියලා අපි දැනගන්න කැමතියි. ඒ වගේම මුදල් ඇමතිවරයා, ජනාධිපතිවරයා, ඔහුගේ වගකීම කුමක්ද? මේ රටේ පනතක් තියෙනවා ‘Fiscal Responsibility and Management Act’. ඒක 2001 ගෙනාවා, විටින් විට පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම මේ ඇතිවෙච්ච බංකොලොත් භාවය නිසා ඉතා විධිමත්ව ඒක


සංශෝධනය කරලා තියෙනවා. ඒ අනුව ඔහු මේ පිළිබඳව කරුණු පාර්ලිමේන්තුවට දැනුම් දීමට බැඳී ඉන්නවා. ඒ කිසිම දෙයක් මුදල් ඇමතිවරයා නොකළේ ඇයි කියන එක?


ඒ වගේම මේ පිළිබඳව ඔවුන් කිසිම ආකාරයක ප්‍රකාශයක් නොකොට ඒක මඟහැරලා ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපට පැනනඟිනවා.


ඒ වගේම මෙතැනදී ඉතාම වැදගත් මහා බැංකුවේ කාර්යභාරය. මොකද මේක විදේශ මුදල් සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන දෙයක්. මහා බැංකුවේ කාර්යභාරය අපි ගත්තාම මහා බැංකුවට මේ අවස්ථාවේදී තව ප්‍රශ්න පැනනැගිලා තියෙනවා විශේෂයෙන් මේ National Development Bank (NDB) බැංකුව සම්බන්ධයෙන්. මහා බැංකුවට බැංකු කටයුතු පිළිබඳවත් මෙවැනි කටයුතු පිළිබඳවත් බාර දීලා තිබෙනවා බලපත්‍ර ලබාදීමේ අයිතිය, නියාමනය කිරීමේ අයිතිය, අඛණ්ඩ නිරීක්ෂණයේ අයිතිය, අනතුරු කළමනාකරණය හා සොයා බැලීමේ අයිතිය, වාණිජ යහපාලනය පවත්වාගෙන යාමේ අයිතිය, පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ කාරණා, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ බලතල


ඒ වගේම යම් වරදක් සිද්ධ වුණා නම් ඒක නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න, අර්බුද කළමනාකරණයට වගේම මාර්ගෝපදේශ ලබා දෙන්න. අපි කැමතියි දැනගන්න ශ්‍රී ලංකා මහා බැංකුව මේ මිලියන 2.5ක සිද්ධිය සම්බන්ධයෙනුත්, ඒ වගේම NDB බැංකුවේ අතුරුදන්හ වුණාය කියන රුපියල් බිලියන 13.5 සම්බන්ධයෙනුත් ගත්ත ක්‍රියාමාර්ග මොනවාද කියලා?


මොකද මේ NDB බැංකුව රජයේ බැංකුවක් හැටියට ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 1979 පිහිටෙව්වේ. ඊට පස්සේ මේ ආයතනය 1993 දී පුද්ගලීකරණයට ලක් වුණා. ආසන්න වශයෙන් 61%ක් පුද්ගලික අංශයට ගියා. 1997 දී තවදුරටත් පුද්ගලික අංශයට ගියා. හැබැයි මේ බැංකුවේ කොටස් ගත්තොත් EPF එකට 9.46%ක් තියෙනවා, ලංකා බැංකුවට 7.91%ක් තියෙනවා, රක්ෂණ සංස්ථාවට 6.05%ක් තියෙනවා (තවත් රක්ෂණ සංස්ථාවේ ජෙනරල් එකටයි ඒ තියෙන්නේ), ලයිෆ් එකට 5.03%ක් තියෙනවා, ETF එකට 3.38%ක් තියෙනවා. රජයට 31.83%ක් තියෙනවා. ඒ කියන්නේ මේ බැංකුවේ කොටස් වලින් තුනෙන් එකක් අයිති රජයට, වැඩ කරන ජනතාවට. ඒ ධනයට මොකද වුණේ කියලා දැනගන්න ඒ ජනතාවට අයිතියක් තියෙනවා.


ඒ වගේම මේ NDB එකේ මුලින් මේ ෆ්‍රෝඩ් (fraud) එක කිව්වේ මිලියන 380ක් කියලා, පස්සේ කිව්වා බිලියන 13.2ක්, මිලියන 13,200ක් කියලා. දැන් මොකද මේකෙන් වෙන්නේ?


මේ නිසා අනිවාර්යෙන්ම තුනෙන් එකක් රජයට ලැබිය යුතු ඒ පාරිතෝෂික ඩිවිඩන්ඩ්ස් (dividends) ලැබීම වැළක්වෙනවා. ඒ වගේම අපේ ඉක්විටි (equity) එක රජයේ ඉක්විටි එක අඩු වෙනවා. ඒ වගේම වැඩ කරන ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය නැති වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තැන්පත්කරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. ඒ වගේම විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා.


දැන් මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර මොනවාද? ඇත්තටම මේ ගැන NDB එක කැඳවලා තියෙනවා මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා ‘Deloitte India’ කියන සමාගම ෆොරන්සික් ඔඩිට් (forensic audit) එකකට. මේ සමාගමටම තමයි දීලා තියෙන්නේ මීට කලින් එක්ස්ටර්නල් රිවීව් (external review) එක කරන්න. මේ සමාගම විසින් කරපු එක්ස්ටර්නල් රිවීව්ස් කරපු සමාගමටම ආයේ ෆොරන්සික් ඔඩිට් එකක් දීලා තියෙනවා. එහෙනම් අපිට පේනවා මේ ‘හොරාගේ අම්මගෙන් පේන අහන’ වැඩක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඉන්ඩිපෙන්ඩන්ට් වෙරිෆිකේෂන් (independent verification) එකක් මේ කිසි ක්ෂේත්‍රයක වෙන්නේ නෑ.


ඒ නිසා මේ මහා බැංකුවට අපි බොහොම පැහැදිලිව කියනවා, මං ගාව ලිපි ලේඛන තියෙනවා, මහා බැංකුවට අනතුරු අඟවලා තියෙනවා අවස්ථා ගණනාවකදී මේ බැංකුවේ සිදුවන සහ වෙනත් බැංකුවල සිදුවන ඉරෙගියුලරිටීස් (irregularities) ගැන. ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග අරගෙන නෑ.


ඉතින් අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි: මේ රජය යටතේ රටේ ආර්ථිකයේ කැණිමඩල, මූල්‍ය ක්ෂේත්‍රයත් බලශක්ති ක්ෂේත්‍රයත්. මේ බලකණු දෙක වටේට තමයි රටේ ආර්ථිකය කැරකෙන්නේ. මේ ප්‍රධාන බලකණු දෙකට, මේ කැණිමඩලට හෙන ගහලා තියෙන්නේ දැන්. ඒකට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනේ අනුර කුමාර දිසානායක මිසක් වෙන කවුරුවත් නෙවෙයි.


ඔහු බලශක්ති ක්ෂේත්‍රයේ තෙල්, ගල්අඟුරු, ගෑස් මේ තුනම අවුල් ජාලයක් බවට පත් කරලා, ලබන ජූලි, අගෝස්තු, සැප්තැම්බර් වෙනකොට රට තුළ දැවැන්ත බලශක්ති අර්බුදයකට මග පාදලා තියෙනවා විතරක් නෙවෙයි, වංචනිකයින්ට ඩීසල් වලින්, ඒ වගේම පෙට්‍රල් වලින්, ගෑස් වලින් සහ ගල්අඟුරු වලින් නිර්ලජ්ජිත ලෙස ගසා කෑමට ඉඩ දීලා තියෙනවා. එහෙම ඉඩ දීලා මුළු බලශක්ති ක්ෂේත්‍රයම මියැදෙන්න ඉඩ ඇරලා, ලේ පෙරන්න ඉඩ ඇරලා, 2008 දූෂණ ගැන හොයන්න පටන් අරන් තියෙනවා.


ඊළඟට ඔහු ඊළඟට අත තියලා තියෙනවා මුදල් ඇමති හැටියට මොකක්ද මේ රටේ මූල්‍ය ක්ෂේත්‍රයට. ඉතින් අපි බොහොම පැහැදිලිව කියනවා මේ රට බංකොලොත් වෙච්ච රටක්, අපි බැට කාලා තියෙනවා මේ බංකොලොත් භාවයෙන්. මේ මූල්‍ය ක්ෂේත්‍රයේ අස්ථාවරත්වය, අවිනිශ්චිතභාවය හා විශ්වසනීයත්වය – මේ ධනවාදය කියන මේ ක්‍රියාවලිය ඉස්සරහට යන්නේ විශ්වසනීයත්වය මත, කොන්ෆිඩන්ස් (confidence) මත. ඒ කොන්ෆිඩන්ස් බිඳ දමන යම්කිසි ක්‍රියාවලියක් රජය විසින් මැදිහත් වෙලා සිදු කරනවා නම් ඒක බලගතු ප්‍රශ්නයක්.


ඒ වගේම අපි විශේෂයෙන්ම පොලීසිය දෙස බලාගෙන ඉන්නවා. යම් යම් ආකාර වලට මේ රහස් පොලීසියට යම් යම් දේවල් බාර දෙන්නේ අපරාධ විමර්ශනය කරලා දඬුවම් දෙන්න නෙවෙයි මේ ආණ්ඩුව, අපරාධ යටගැසීමේ අරමුණින්. ඒකට හොඳම උදාහරණය අර කන්ටේනර් 323 සිද්ධිය. මේ සිද්ධිය ගැනත් අපි බලාගෙන සිටින බව පොලීසිය දෙස, පොලිස්පතිතුමාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාටත් අපි දැනුම් දෙන්න කැමතියි.


යම් යටගැසීමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, මේ අත්සන් ගත් පිරිස් බේරා ගැනීමේ, ගලවා ගැනීමේ මෙහෙයුමක් කරන්න යනවා නම්, ඒ ගැන අපි බලාගෙන ඉන්න බව ඒ නිලධාරීන්ටත් අපි කියනවා තමන්ගේ ආරක්ෂාව තකා මේවා වාර්තා තබා ගන්න කියලා. මොකද ගල්අඟුරු සිද්ධියේදීත් ලංකා කෝල් සමාගමේ නිලධාරීන් පිට යවන්න හදනවා වගේ, මේ සිද්ධියේදී පහළ නිලධාරීන් පස් හය දෙනෙක් හරහා යවන්න තමයි මේ උත්සාහ කරන්නේ.


ඒ අනුව කරුණාකරලා මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයට තියපු අත, ඒකට ගහලා පොරෙන් ගහලා ඒක තුවාල කරලා මරණ මංචකයට ඇදගෙන ගියා වගේ මූල්‍ය ක්ෂේත්‍රයත්, බැංකු ක්ෂේත්‍රයත් මේ ලෙස ව්‍යසනයට පත් කරන්න මේ ආණ්ඩුවට අයිතියක් නෑ. දෙන්නත් බෑ කියන එක අපි අවධාරණය කරනවා. ඒ පිළිබඳව සමස්ත ජනතාවම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව මෙතන වාඩි වෙලා ඉන්න අය විතරක් නොවේ ආණ්ඩුවට ඡන්දෙ  දීපු අයටත් අපි හැමෝටමත් වගකීමක් තියෙනවා. මොකද මේ ක්ෂේත්‍ර දෙක එකවර බිඳ වැටුනොත් මුළු රටටම බලපෑම එල්ලවන නිසා.


මෙහිදී මාධ්‍යෙව්දීන් නැගු ප්‍රශ්න සහ ඒවාට පාඨලී චම්පික රණවක මහතා ලබාදුන් පිළිතුර පහත දැක්වේ.


ප්‍රශ්නය: මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ මුදල් අමාත්‍යාංශයෙන්ද නැත්නම් ජනාධිපතිතුමාට කැබිනට් එකටද මේ පිළිබඳව සෘජුවම පැමිණිලි කරන්නේ?


පිළිතුර: පැහැදිලිවම දැනට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මූලික වගකීම තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට. ඔහු තමයි මුදල් අමාත්‍යාංශයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වගේම මූල්‍ය කටයුතු භාර ප්‍රධානියා, ඔහු භාණ්ඩාගාරයේත් ප්‍රධානියා. ඒ වගේම මේ මුදල අනුමත කිරීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාටත් සෘජු වගකීමක් තියෙනවා. ඒ වගේම ඒ සියලු දෙනාටම උඩින් ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයාට (වගකීමක්) තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටිනවා, අපි පෙන්වා දුන්නා විවිධ අණපනත් ගණනාවක් යටතේ විශේෂයෙන්ම බංකොලොත් භාවයෙන් පස්සේ නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා.


මොකද මේකත් සලකන්න පුළුවන් කිසියම් දුරකට අපි ණය ආපසු නොගෙවීමේ තාක්ෂණික කාරණයක් හැටියට. ගිය පාර අපිට ඒක වුණේ සල්ලි නැතුව. මේ පාර අපි වංචනික විදිහට තාක්ෂණික කාරණයක් මත නොගෙවා හිටපු තත්ත්වයක් මත. ඉතින් ඒ නිසා මෙහි අවසාන වශයෙන් සමස්ත වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට.


අපිට තියෙන ප්‍රශ්නය සමහර අවස්ථාවල මේ ආණ්ඩුව ඇතැම් ලේකම්වරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරපු ආකාරය දිහා බලනකොට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකිරීම කියන කාරණය. කොහොම වුණත් මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පොලීසිය, ඒ වගේම අමාත්‍යාංශය, ඒ වගේම මහ බැංකුව ගන්න පියවර සහ පාර්ලිමේන්තුවට ඔවුන් ඉදිරිපත් කරන කරුණු පිළිබඳව. මේක සිදුවීම ඉදිරියට යද්දී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් තනි පුද්ගලයෙක් ගැන කියනවා නම් ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා තමයි මේකට වගකිවයුත්තේ.


ප්‍රශ්නය: ජනාධිපතිතුමා සාමාන්‍යයෙන් ඕනෑම සිද්ධියකදී පාර්ලිමේන්තුවේ කතා කරනවා. බලාපොරොත්තුවෙන්ද ඉන්නෙ?පිළිතුර: දැන් මාස හතරක් ගිහිල්ලා තියෙනවා කතා කරන්න. එතුමා මේ පිළිබඳ අවංක නම් මේ සිද්ධිය සිදුවූ වහාම එතුමාට තිබුණා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න. ඒ වගේම එතුමාට තිබුණා වෙබ් අඩවියේ පළ කරන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා. එතුමාට තිබුණා පොලීසියට දැනුම් දෙන්න ජනවාරි මාසයේ. මාස හතරක් මේක යට ගහලා තිබුණා ප්‍රී ලෝයර්ස් (Pre-Lawyers) ආයතනයේ මෛත්‍රී ගුණරත්න මහත්මයාලා මේක කතා කරනකන් රජිත කීර්ති තෙන්නකෝන්ලා. ඒ ගැන කතා නොකර සිටීමෙන් පේන්නේ ඔහු මෙය යටපත් කිරීමේ උත්සාහයක ඉන්න බවයි. ඉතින් ඔහු ඉදිරියේදී තම අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අනෙකුත් මේකට අත්සන් කරන ලද, මේක බලාත්මක කරන ලද නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගන්නේ නැත්නම් ඔහු සම්බන්ධයෙනුත් මේ පිළිබඳව සැකයක් මතු වෙනවා.


ප්‍රශ්නය: ඒ කියන්නේ ඔහු දැනුවත් වෙලා හිටියේ නැහැ කියන එකද?


පිළිතුර: ඔහු දැනුවත් වෙලා ඉන්න ඇති. මුදල් ඇමති හැටියට ගිය ජනවාරි මාසයේ මෙවැනි සිද්ධියක් වුණා නම් ඔහු දැනුවත් වෙලා ඉන්න ඇති. ඔහු මාස හතරක් මොකක්ද කළේ? මේ සම්බන්ධයෙන් ගතයුතු පියවර මොනවාද? ගත්ත පියවර මොනවාද? ඒ ගැන අනික් අයට දැනුම් දුන්නේ ඇයි නැත්තේ? රටට දැනුම් දුන්නේ නැත්තේ ඇයි? පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ඇයි නැත්තේ? ඒ ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ නිසා මේක නොදැන හිටියා යැයි කියන්න බැහැ. මේක අන්තර්ජාතික ගැටලුවක්.


ප්‍රශ්නය: සී. අයි. ඩී. (CID) එකට දැනුම් දුන්නා කියනවනේ ?


පිළිතුර : CID එකට දැනුම් දුන්නා නම්, ඒ දැනුම් දුන් වහාම දණ්ඩ නීති සංග්‍රහය අනුව සී. අයි. ඩී. එක ගිහිල්ලා මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වන්න ඕනේ. නීතිපතිගේ උපදෙස් ගන්න ඕනේ. නීතිපති මැදිහත් වෙන්න ඕනේ. කට්ටිය අත්අඩංගුවට ගන්න ඕනේ. අපිට එහෙම මුකුත් පෙනිලා තියෙනවද? එහෙම වෙලා තියෙනවද? නැහැ. ඒ කියන්නේ ලක්ෂ 8,000ක් සම්බන්ධයෙන් මුකුත් වෙලා නැහැ. හැබැයි තනි ලක්ෂයකට හිටපු වැදගත් ලේකම්තුමෙක් අත්අඩංගුවට අරගෙන ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා. එක ලක්ෂයක් සමුපකාර අමාත්‍යාංශයේ. ඉතින් ඒකයි අපිට තියෙන ප්‍රශ්නය. ඒ කියන්නේ මේක ඕනෑකමින් යට ගහලා තිබුණා, නමුත් මේ රටේ යම්කිසි පිරිසකගේ උත්සාහයෙන්, කැපවීමෙන් මේක එළියට ආවට පස්සේ දැන් ඒ පිළිබඳව ප්‍රශ්න මතුවෙමින් පවතිනවා. මේ ප්‍රශ්නය පැහැදිලිවම පොලීසිය සම්බන්ධයෙනුත් තියෙනවා. පොලීසිය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය දෙස අපි බලාගෙන ඉන්නවා. ඔවුන් වෙනත් අවස්ථාවල ක්‍රියා කරපු ආකාරයයි මේ පිළිබඳව ක්‍රියා කරන ආකාරයයි, නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කරන ආකාරය ගැනත් අපි බොහොම විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. අපිට පේනවා යම් යම් ආකාරයකට කරුණු වෙනස් කරලා මේ අපරාධයේ අපරාධකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමක් තියෙනවාද නැද්ද කියන එක ගැන අපි අවධානයෙන් ඉන්න බව පොලිස්පතිතුමාටත් මතක් කරනවා.


ප්‍රශ්නය: ආණ්ඩුව කියන්නේ මේවා එළියට දැම්මොත් මේක කරපු කට්ටිය අල්ලගන්න බැරි වෙනවා කියලද?


පිළිතුර: දැන් අල්ලලාද ? දැන් මාස තුනක් ගිහිල්ලා අල්ලලානේ? අල්ලගන්න මුකුත් ප්‍රශ්නයක් නැහැ. අල්ලගන්න තියෙන්නේ අමාත්‍යාංශ ලේකම් ඇතුළු මේක බලාත්මක කරපු පිරිස. දැන් උදාහරණයක් හැටියට මම පසුගිය සතියේ සූරියවැව ගියා. සූරියවැව ප්‍රදේශයේ ඒ විශාල පොළ භූමිය ඉදි කළේ අපේ අමාත්‍යාංශයෙන්. ඒ වගේම මැනිං මාකට් (Manning Market) එක ඉදි කළෙත් අපේ අමාත්‍යාංශයෙන්. මම ගිහිල්ලා එතන වට්ටක්කා මිලදී ගත්තා එතන ඉන්න ගොවි මහත්වරුන්ගෙන්. වට්ටක්කා පටවනවා කොහාටද, මැනිං මාකට් එකට. මම ඇහුවා කොහොමද මේක කෙරෙන්නේ? මොකද මැනිං මාකට් එකට අපි හඳුන්වා දීලා තියෙනවා වෙළෙන්ඳන්ගෙන් බඩු මිලදී ගැනීමේ ක්‍රියාදාමයක්. ඒක වෙනවාද නැද්ද කියලා බලන්නත් එක්ක මම ඒක ඇහුවෙ. ඔහු මොකක්ද මට කිව්වේ?


“මහත්තයෝ මම මෙතන වට්ටක්කා කිලෝ ගාන බලනවා, මම ගන්න ගාන දන්නවා, මං දුරකථනයෙන් මැනිං මාකට් (Manning Market) එකට දැනුම් දෙනවා. මේක මම ලොරියට පටවනවා. පැය හතරකට පස්සේ විතර, පහකට විතර පස්සේ මට පිළිතුරු එනවා බඩු ආවා, මේකයි ගාණ” කියලා.


මං ඇහුවා ඊට පස්සේ සල්ලි ?


“මුලින්ම මහත්තයා මට රුපියල් 100ක් දානවා. දැම්මට පස්සෙ මම ඒක හරි කියලා කිව්වහම තමයි මට ඉතුරු සල්ලි එවන්නේ”.


එතකොට සූරියවැව වට්ටක්කා ගොවියා දන්න මේ පුංචි කාරණය මේ මහාචාර්ය, ආචාර්ය හා මේ මහා ප්‍රසාදනීය කට්ටියට කරගන්න බැහැයි කියන්නේ, ඉතින් ඒක ලෝක විහිළුවක්.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome