සුදුසුකම් නොමැති දේශපාලන හිතවතියක් ආයුර්වේද කොමසාරිස් තනතුරට! උතුරු මැද ආයුර්වේද වෛද්‍ය නිළධාරීන් සටන් මගට!

0


උතුරු මැද පළාතේ පුරප්පාඩුව පවතින ආයුර්වේද කොමසාරිස් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයක් නොකැඳවා, සුදුසුකම් සම්පූර්ණ කළ වෛද්‍ය නිළධාරියකු සිටින අවස්ථාවදී පරිපාලන සුදුසුකම් නොමැති වෛද්‍යවරියක එම තනතුරේ රාජකාරී ආවරණයට පත් කිරීම ආයුර්වේද සේවා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත්, සදාචාර විරෝධී ක්‍රියාවක් බවත්, ඒ සඳහා දේශපාලන අත පෙවීමක්  හා දේශපාලන බලය භාවිතා කිරීමක්ද සිදුව ඇති බවත්, ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් (පරිපාලන) වෛද්‍ය ප්‍රසාද් මුදලිගේ මහතා පවසයි.


ජනාධිපතිතුමා, අග්‍රඅමාත්‍යයතුමිය, උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමන්,  රාජ්‍යය සේවා කොමිෂන් සභාවේ සභාපතිතුමන්, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්තුමන්, ආයුරුවේද කොමසාරිස් ජනරාල් ඇතුළු වගකිව යුතු නිළධාරීන්ට ලිඛිතව මේ පිළිබඳව පැමිණිලි කර ඇති බවත්, මෙම තිරණය හකුලා නොගන්නේ නම් දිවයින පුරා සිටින ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ද, උතුරු මැද පලාතේ සේවයේ නියතු වෛද්‍ය නිළධාරීන් හා ආයතන වල සියලුම සෞඛ්‍ය සේවකයන්ද ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග වලට එළඹීමට පසුබට නොවන බව මෙයින් අවධාරණය කරන බවත් එම ලිපියෙහි වැඩි දුරටත් සඳහන්ව ඇත.


 එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, 


උතුරු මැද පළාත් අයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තනතුර වන පළාත් ආයුර්වේද කොමසාරිස් තනතුර දීර්ඝ කාලයක සිට හිස්ව පැවති අතර, ජ්‍යෙෂ්ඨතාව අනුව ඉහළම සුදුසුකම් සහිත වෛද්‍ය නිළධාරීන් එම තනතුරෙහි රාජකාරී ආවරණය කලේය.නමුත් 2025 වර්ෂයේ රාජ්‍යය සේවා කොමිෂන් සභාව මගින් ආයුර්වේද වෛද්‍ය පරිපාලන II තනතුරු කීපයක් ලබා දුන් අතර, ඔවුන් පරිපාලන II තනතුරු වල පිහිටුවනු ලැබීය.ඒ අනුව ඉහත පරිපාලන II සුදුසුකම් සැපිරූ වෛද්‍යවරයෙකු පළාතේ නියෝජ්‍යය කොමසාරිස් තනතුරේ පිහිටුවනු ලැබීය.එනම් පළාත තුළ ඉහළම පරිපාලන සුදුසුකම් සහිත නිළධාරියා වන්නේ එම නියෝජ්‍යය කොමසාරිස්වරයායි.


තවද, සාමාන්‍යය ක්‍රමවේදයට අනුව අනෙකුත් පළාත් වලද එවැනි පරිපාලන II සුදුසුකම් සම්පූර්ණ කළ වෛද්‍යවරුන් නියමිත තනතුරෙහි වැඩ භාර ගත් අතර, පරිපාලන I සුදුසුකම් සහිත පළාත් ආයුරුවේද කොමසාරිස් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයක් කැඳවා ඔවුන් පළාත් ආයුරුවේද කොමසාරිස් ධූරයේ වැඩ බැලීමට පත් කරන ලදී.ඒ අනුව බස්නාහිර, සබරගමුව, ඌව යන පළාත් වල පළාත් ආයුරුවේද අයුර්වේද කොමසාරිස් ධූරවල වැඩ බැලීම සිදු කරණුයේ, එසේ පත් වූ පරිපාලන II සුදුසුකම් සහිත වෛද්‍ය නිළධාරීන්ය. අනෙකුත් පලාත් වල පරිපාලන සුදුසුකම් සම්පූර්ණ කළ වෛද්‍ය නිළධාරීන් නොමැති හෙයින් I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම වෛද්‍ය නිළධාරියා හෝ නිළධාරිනිය පළාත් ආයුර්වේද කොමසාරිස් ධූරයේ රාජකාරී ආවරණය කරමින් සිටී, තවද පළාත් අයුරුවේද කොමසාරිස් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයේදී සලකා බලනුයේ පරිපාලන I හෝ එසේ නොමැති විටදී පරිපාලන II සුදුසුකම් සැපිරූ වෛද්‍ය නිළධාරීන් බව ඉතා පැහැදිලිව සඳහන් කළ යුතුය.


තත්වය එසේ තිබියදී උතුරු මැද පළාතේ පුරප්පාඩුව පවතින ආයුර්වේද කොමසාරිස් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයක් නොකැඳවීමකින්ද, පළාත තුළ වෛද්‍ය පරිපාලන II සුදුසුකම් සම්පූර්ණ කළ වෛද්‍ය නිළධාරියකු සිටින අවස්ථාවදී පරිපාලන සුදුසුකම් නොමැති වෛද්‍යවරියක එම තනතුරේ රාජකාරී ආවරණයට පත් කිරීමට කටයුතු කිරීම ආයුර්වේද සේවා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවත්, සදාචාර විරෝධී ක්‍රියාවක් බවත් සිහිපත් කරමු. වඩාත්ම කණගාටුදායක කරුණ වන්නේ පළාතේ දේශපාලන අත පෙවීමක් මගින්ද, දේශපාලන බලය භාවිතා කරමින්ද සුදුසුකම් සහිත වෛද්‍යවරුන්ට අසත්‍ය චෝදනා නගමින්ද මෙම පත් කිරීම සිදු කිරීමයි.


තවද වසර 76 ක දූෂිත පවුල්වාදී හා කල්ලිවාදී දේශපාලනය අවසන් කරමින් රටේ පුරවැසියන් බහුතරයක් එක්ව වර්ථමාන ආණ්ඩුව බලයට පත් කරුණුයේ සුදුස්සාට සුදුසු තැන ලබා දීමටත්, තනතුරු වල ටපත් කිරීමේදී විනිවිදභාවයක්, නිර්දේශපාලනිකත්වයත් රාජ්‍යය සේවය තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් බව තරයේ අවධාරණය කරමු.එසේම මෙම ජනතාවාදී ආණ්ඩුව බලයට පත් කර ගැනීමට රජයේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ නියතු සියලු දෙනා කිසිදු භේදයකින් තොරව සහයෝගය ලබා දුන් බවද නැවතත් සිහිපත් කර සිටිමු.


මේ අනුව ඉහත දේශපාලන, බලහත්කාරී, ව්‍යවස්ථාවට පටහැනි පත්කිරීම පිළිබඳව, වෛද්‍යවරුන් මෙන්ම සේවකයන්ද ඉතා අප්‍රසාදයටත්, කලකිරීමටත් පත්ව ඇති අතර, එම තීරණයට විරුද්ධව දීප ව්‍යාප්ත සේවාවක නිළධාරීන් ලෙස අපගේ දැඩි විරෝධතාවයද ප්‍රකාශ කර සිටිමු.ඒ අනුව මෙම තිරණය හකුලා නොගන්නේ නම් දිවයින පුරා සිටින ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ද, උතුරු මැද පලාතේ සේවයේ නියතු වෛද්‍ය නිළධාරීන් හා ආයතන වල සියලුම සෞඛ්‍ය සේවකයන්ද ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග වලට එළඹීමට පසුබට නොවන බව මෙයින් අවධාරණය කරමු.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome