නැගෙනහිර බහලුම් පර්යන්තය සහ SATJ පෞද්ගලීකරණය කලොත් බලාගෙනයි! ආණ්ඩුවට රතු එලියක්!

0


කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පර්යන්තය සහ එස්.ඒ.ජී.ටී. පර්යන්තය වරාය අධිකාරී යටතේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම වඩාත් වාසිදායක යැයි එම අධිකාරියේ ඉහළ කළමනාකාරිත්වය තහවුරු කර ඇති බවත් නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට හෝ එස්.ඒ.ජී.ටී. පර්යන්තය නැවත පෞද්ගලීකරණය කිරීමට රජය උත්සාහ කළහොත් එයට දැඩි විරෝධය දක්වන බවත් වරාය වෘත්තිය සමති ඒකාබද්ධ සන්ධානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.


වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික හවුල්කාරත්වයට බදු පදනම යටතේ පවරා ඇති එස්.ඒ.ජී.ටී. පර්යන්තයෙන් මේ දක්වා වසර 27 ක කාලයක් තුළ ලැබී ඇති සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක් හෙවත් ඩොලර් කෝටි 25 ක් පමණක් වුවද නැගෙනහිර පර්යන්තයේ වර්තමානය වන විට ඉදිකර ඇති අඩක කොටසින් පමණක් දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් බැගින් වසරකට ඩොලර් මිලියන 360 ක් හෙවත් ඩොලර් කෝටි 36ක පමණ ආදායමක් ලැබිය හැකි යැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළ බවත් එම ලිපියේ සඳහන්වේ.


නැගෙනහිර බහලුම් පර්යන්තයේ වර්තමාන තත්වය පිළිබඳව වරාය අධිකාරියේ විධායක නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේදී පසුගිය අප්‍රේල් මස 29 වැනිදා පැවති විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනේදී කළමනාකාර අධ්‍යක්ෂවරයා එම තොරතුරු හෙළිකළ බව ද එම ලිපියේ සඳහන්වේ.


ඒ අනුව නැගෙනහිර බහලුම් පර්යන්තයේ සමස්ත ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු ප්‍රයිම්මුවර් යොදාගෙන වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක පමණ වාර්ෂික ආදායමක් ලැබිය හැකි බවත් නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය උපකරණයක් වන Studdle Carriers නොමැති වුවද පළමු ලේන් 10 ප්‍රයිම්මුවර් යොදාගෙන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම තුළින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 360 ක පමණ ආදායමක් ලැබිය හැකි යැයි වරාය අධිකාරියේ ඉහළ කළමණාකාරීත්වය පවසන බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය එම ලිපියේ සඳහන් කර තිබේ.


2020 වසරේ එවකට රජය සහ පාලන අධිකාරිය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සමස්ත වෘත්තීය සමිති, බහුජන සංවිධාන, වරාය අධිකාරියේ සමස්ත සේවකයන් සහ මෙරට මහජනතාව එක්ව ජීවිත පරිත්‍යාගයෙන් කළ අරගලයකින් පසුව එම පර්යන්තය වරාය අධිකාරිය සතු කර ගැනීමට හැකි වූ බව කියන වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය එම ලිපියේ සඳහන් කරන්නේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය නොකරන්නේ යැයි මැතිවරණ පොරොන්දුවක් දී බලය ලබාගත් වර්තමාන ආණ්ඩුව එම පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට පිඹුරුපත් සකස් කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති අතර ඒ සඳහා ජනාධිපති ලේකම්වරයා වරාය හා නාවික අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලිපියක් එවා ඇති බවත්ය.


කෙසේ වෙතත් ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය සම්බන්ධව වරාය ඉහළ කළමනාකාරීත්වයේ ද අභ්‍යන්තරය මතය පැහැදිලි කිරීමක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ ඉහත මතය සැලකිය හැකි යැයි කියන වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය වරාය අධිකාරියේ පාලන අධිකාරියේ එම අදහසට කොන්දේසි විරහිතව සහය දීමට එම සන්ධානය එකඟවනන බව ද එම ලිපියෙන් පවසයි.


කෙසේ වෙතත් නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය උපකරණයක් වන Studdle Carriers මිලදී ගැනීම සඳහා ප්‍රසිද්ධ කර තිබූ ටෙන්ඩරය අවලංගු කිරීමත්, එය නැවත ඇනවුම් කිරීමට වසර එකහමාරකට වැඩි කාලයක් ගතවී ඇතත් රජය එය දිගින් දිගටම ප්‍රමාද කිරීම නැගෙනහිර පර්යන්තය පෞද්ගලිකරණයට කිරීම සඳහා පසුබිම සකස් කිරීම සඳහා වන කුමන්ත්‍රණයක කොටසක් බවත් එම පර්යන්ත දෙක නැවත පෞද්ගලික අංශයට ලබාදීම සඳහා කරනු ලබන සියලුම උත්සාහයන් පරාජය කිරීමට වරාය වෘත්තියේසමිති ඒකාබද්ධ සන්ධානය මූලිකත්වය ගැන කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.


ශ්‍රී ලංකාව වරාය අධිකාරියේ සේවකයන්ගෙන් බහුතරය ඉක්මවා ගිය සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන වරාය වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයට ඇතුළත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය, සමගි සේවක සංගමය සහ එක්සත් සේවක සංගමය යන සංගම්වල ප්‍රධානීන් අත්සන් කළ ඇති වරාය සභාපතිවරයාට යොමු කළ මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ශවයන් 10 කට යොමු කර තිබේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome