Lankaenews වෙබ් අඩවියේ පළවූ භාණ්ඩාගාරයේ මිලියන 2.5ක ගණුදෙනුව සහ සයිබර් ප්‍රහාරයකට එහා ගිය දේශපාලන සහ තාක්ෂණික කුමන්ත්‍රණයක සුලමුල යන ලිපියේ අන්තර්ගතය දිනන දකුණ සාමූහිකය මුළු මනින්ම ප්‍රතික්ෂේප කරතිබේ.
එම සංවිධානය සමාජයෙන් ඉල්ලා සිටින්නේ අප විසින් මෙම නිවේදනය මගින් බිඳදමා ඇති මෙම ලිපියේ ගොඩනැගෙන තර්කය හුදෙක් ආණ්ඩුව ආරක්ෂා කිරීමේ පටු උවමනාවෙන් ගොඩනගා ඇති බව අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලමින් දිනන දකුණ නායකත්ව මණ්ඩල සභික නීතිඥ ශිරාල් ලක්තිලක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදල අවභාවිතා වීම පිළිබදව ලංකා ඊ නිව්ස් පලවුන ලිපියට පිළිතුරක්
2026.04.28
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියබ 2.5 ක මුදල අවභාවිතා වීම පිළිබදව ලංකා ඊ නිව්ස් පලවුන ලිපියට පිළිතුරක්.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අවභාවිත වීම සම්බන්ධයෙන් රජය සහ භාණ්ඩාගාර ලේකම්වරයා වගකීමෙන් නිදහස් කිරීමට ඉදිරිපත් කර ඇති තර්ක හාස්‍යජනක බව කිවයුතුව තිබේ.
මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ සිදුවී ඇත්තේ හුදු "තාක්ෂණික කුමන්ත්‍රණයක්" හෝ "පද්ධතියේ පවතින දුර්වලතාවක්" නිසා, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා හෝ රජයේ නිලධාරීන්ගේ වගකීම සහ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්නය ඉදිරියට පැමිණීම යටපත් කිරීමට බව පැහැදිලි වන්නේය.
එම ලිපියේ මුඛ්‍යාර්ථය මේවන විට මතුවී තිබෙන සමාජ කථිකාව දේශපාලන කුමන්ත්‍රණයක්" යන තර්කයකට ලඝු කිරීමය. ඒ බව තහවුරු කරන්නේ ප්‍රශ්නය සමාජගත කරන ලද ප්‍රධාන පුද්ගලයන් දෙදෙනාට පහර දීම තුලිනි. ලිපිය තුලින් මතු කරන්නේ කීර්ති තෙන්නකෝන් සහ මෛත්‍රී ගුණරත්න වැනි විරුද්ධ දේශපාලන කණ්ඩායම්වල පුද්ගලයින් මෙය රජයට එරෙහිව අවියක් කරගෙන ඇති බවය.ඒ අනුව මෙම සමස්ත සිද්ධියම දේශපාලනීකරණයට භාජනය වූවක් බව ලිපිය මගින් අවධාරනය කර තිබේ.
අනුර ජනාධිපතිවරයාගේ සහායට පැමිණි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයාට අමතකවී ඇත්තේ රාජ්‍ය මුදල් අවභාවිත වීමක් සිදු වූ විට ඒ පිළිබඳව ප්‍රශ්න කිරීම ඕනෑම පුරවැසියෙකුට හෝ දේශපාලන ක්‍රියාකාරිකයෙකුට පවතින අයිතියයි.එම අයිතිය පුද්ගලයින්ගේ දේශපාලන පසුබිම මත පදනම්ව මතු කරන ලද චෝදනාවක් මගින් සිද්ධියේ බරපතලකම අවතක්සේරු කළ නොහැකි බව අප අවධාරනය කරනු ලබයි.අප ලංකා ඊ නිව්ස් කතුවරයාට කියා සිටින්නේ ඔබගේ අවධානය යොමු විය යුත්තේ චෝදනාව එල්ල කරන්නේ කවුද යන්න නොව, චෝදනාව සත්‍ය ද යන්න සහ ඒ පිලිබද රජයේ වගවීම පිළිබඳවයි.
දේශපාලන කුමන්ත්‍රණයක් මතුපිටට ගෙනෙන ලංකා ඊ නිව්ස් කතුවරයා "ඩිජිටල් මීයන්" සහ "යල් පැන ගිය පද්ධති" යන තර්කය තුලින් තමන්ගෙන එන කුමන්ත්‍රණ න්‍යාය තවදුරටත් තහවුරු කරන්නට යත්න දරයි.ලිපිය මගින් තර්ක කරන්නේ මෙම හිදැස වසර ගණනාවක් තිස්සේ පද්ධතියේ සිටි "ඩිජිටල් මීයන්" කළ දෙයක් බවත්, වත්මන් රජය පත්වීමට පෙර සිටම මෙය සැලසුම් කර තිබූ බවකි.අවාසනාවකට කතු වරයාට නොපෙනී ගොස් ඇත්තේ අනුර පාලනය පිහිටුවා මාස 19 ගතවන තෙක් එකී ඩිජිටල් මීයන් වඳ කිරීමට අනුර පාලනයට නොහැකි වූයේ ඇයිද යන්නය.එය එක්කෝ අනුර පාලනයේ නොහැකියාවේ ලක්ෂනයක් විය යුතුය, එසේ නැතිනම් අනුර පාලනය එකී ඩිජිටල් මීයන්ගේ අපරාධ සහායකයකු විය යුතුව තිබේ.
අපට අනුව පද්ධතියේ ආරක්ෂක පියවර (Security Protocols) යාවත්කාලීන කිරීම සහ පවත්වාගෙන යාම වත්මන් පරිපාලනයේ සහ භාණ්ඩාගාර ලේකම්වරයාගේ වගකීමකි.
Business Email Compromise (BEC) වැනි ප්‍රහාරයන් වළක්වා ගැනීමට Multi-Factor Authentication (MFA) වැනි සරල තාක්ෂණික ක්‍රමවේද ලොව පුරා භාවිතා නොකිරීම මගින් පෙන්වන්නේ ඉහත දෙආකාරයෙන් කියවෙන නොහැකියාව හෝ අපරාධමය චිත්තය වන්නේය.
පද්ධතිය දුර්වල බව දැන සිටියේ නම්, එවැනි විශාල ගනුදෙනු සිදු කිරීමට පෙර එම දුර්වලතා නිවැරදි නොකිරීම "සාපරාධී නොසලකා හැරීමක්" (Criminal Negligence) මිස හුදු තාක්ෂණික දෝෂයක් නොවේ.
ඒ අනුව තම කලමනාකරන වගකීම් පැහැර හැරි අනුර පාලනයට තමන්ගේ වැරදි වසා දැමීම සදහා එය"පහළ මට්ටමේ නිලධාරීන්ගේ වැරැද්දක්" ලෙස හුවා දැක්වීමට ලංකා ඊ නිව්ස් කතු වරයා ගන්නා උත්සාහය බුද්ධි විරෝධී වන්නාක් මෙන්ම තම හිතවත් ජනාධිපතිවරයා බේරා ගැනීමට දරන වංචනික උත්සාහයක් වන්නේය.
ඇතැම් විට මෙවර ලංකාවට පැමිනි ලංකා ඊ නිව්ස් කතුවරයාට ඔහුට එරෙහිව පැවති නඩුහබ වලින් බේරා දෙමින් අනුර පාලනය දැක්වූ සහයෝගයට දේශපාලනික කෘතගුණ සැලකීමක් මෙම ලිපිය තුලින් කරනවා වෙන්නට පිලිවන.
* ලිපිය යෝජනා කරන්නේ ක්‍රියාවේ වගවීම ණය ගිණුම භාර කළමනාකරණ සේවා නිලධාරියා හෝ සංවර්ධන නිලධාරියා තැබූ සටහන මත පමණක් විශ්වාසය තැබීම නිසා සිදුවූවක්ම නිසා එහි වගවීම ඔවුන් විසින්ම දැරිය යුතු බවය.
මෙම තර්කය අප දකින්නේ දඩයම් කිරීම සදහා පහල නිලධාරීන් බිල්ලට දීමේ (Scapegoating) උත්සාහයක් ලෙසටය.
ඩොලර් මිලියන 2.5ක් වැනි විශාල මුදලක් විදේශීය ගිණුමකට යොමු කිරීමේදී, "Internal Controls" සහ "Authorization Levels" තිබිය යුතු බව කතුවරයා උවමනාවෙන්ම අමතක කොට තිබේ.
ඉහල නිලධාරීන් එම ගෙවීම් අනුමත කරන්නේ නම්, ගිණුම් අංක වෙනස් වීම වැනි මූලික කරුණු පරීක්ෂා කිරීම ඔවුන්ගේ වගකීමක් වන්නේය.පහල නිලධාරීන් මත පමණක් වරද පටවා ඉහළ නිලධාරීන් නිදහස් කිරීමට ගෙන එන මෙම තර්කය ගර්හිත තර්කයක් වන්නේය.
කතෘවරයාගේ අවසාන උත්සාහය වන්නේ අන් කිසිවකු නොව "භාණ්ඩාගාර ලේකම්වරයා නිදහස් කිරීමයි. එමගින් උත්සාහ කරන්නේ භාණ්ඩාගාර ලේකම් වරයාට දණ්ඩ මුක්තිය ලබා දීමයි.Impunity for Treasury Secretary) ඒ සදහා කතෘවරයා තර්ක කරන්නේ මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ බවත්, පද්ධතියට රහසිගතව ඇතුළු වී ඇති බවත් පවසමින් භාණ්ඩාගාර ලේකම්වරයාට සෘජු වගකීමක් පැවරීමට හැකියාවක් ඇත්තේ නැති බවය.
අපට අනුව ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියා හෝ ලේකම්වරයා ලෙස, එම ආයතනයේ සිදුවන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අවසාන වගකීම (Vicarious Liability) ඔහු සතු වන්නකි. විශේෂයෙන්ම විදේශ ණය ගෙවීම් වැනි සංවේදී ගණුදෙනු වලදී ආරක්ෂක පටිපාටි නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම ඔහුගේ මූලික වගකීමකි. නමුත් ලිපිය මගින් උත්සාහ කරන්නේ ලේකම් වරයා "නොදැනුවත් අහිංසකයෙකු" ලෙස පෙන්වීමටය.එනමුදු පාලන පද්ධතියේ බිඳවැටීම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතුය.
ලේකම් වරයාට සුදුහුනු ගෑමට කතුවරයා දරන උත්සාහය පුදුම සහගතය. ලේකම් වරයා සිද්ධිය වහා වාර්තා කිරීම සහ පරීක්ෂණ ඇරඹූ බවට කියන්නේ අතිශෝක්තියකි.රජය වහාම ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කළ බව පවසමින් එය රජයේ විනිවිදභාවයක් ලෙස දක්වයි. එය හාස්‍යයට කරුණකි.
අවසාන වශයෙන් දිනන දකුණ සාමූහිකය අවධාරනය කරන්නේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පලවූ මෙම ලිපිය ද දේශපාලන අරමුණක් සහිතව අනුර පාලනයට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන දැවැන්ත අප්‍රසාදය හා සෝපහාසය තුනී කරගැනීම උදෙසාම ලියූ ලියවිල්ලක් බවය.
මෙම ලිපිය මගින් උත්සාහ දරන්නේ "Business Email Compromise" යන තාක්ෂණික පදය භාවිත කරමින් සිදුවූයේ අනිවාර්යයෙන්ම සිදුවිය හැකි අනතුරක් බවත්, එයට වත්මන් රජය හෝ බලධාරීන් වගකිව යුතු නැති බවය.
නමුත් අප කියා සිටින්නේ මෙම සිද්ධිය පිළිබඳව කථිකා කල යුත්තේ මූල්‍ය විනය, අභ්‍යන්තර පාලන ක්‍රමවේද සහ ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණ වගකීම පැහැර හැරීම යන කරුණු මත රාජ්‍ය පාලනයේ සහ වගවීමේ බිඳවැටීම පිලිබදව මිස එය හුදු තාක්ෂණික ප්‍රහාරයක් ලෙසට නොවේ.එම නිසා කලෙක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ උන්නතියට, නීතියේ පාලනය වෙනුවෙන් පෙනී සිටි වෙබ් අඩවියකට අනුර පාලනය අතින් සිදුවී ඇති දැවැන්ත අක්‍රමිකතාවයක් යටපත් කිරීමට තර්ක ගොඩනැගීම තරම් නොවන බවය.
එසේ හෙයින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළවූ භාණ්ඩාගාරයේ මිලියන 2.5ක ගණුදෙනුව සහ සයිබර් ප්‍රහාරයකට එහා ගිය දේශපාලන සහ තාක්ෂණික කුමන්ත්‍රණයක සුලමුල යන ලිපියේ අන්තර්ගතය දිනන දකුණ සාමූහිකය මුළු මනින්ම ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව සමාජයෙන් ඉල්ලා සිටින්නේ අප විසින් මෙම නිවේදනය මගින් බිඳදමා ඇති මෙම ලිපියේ ගොඩනැගෙන තර්කය හුදෙක් ආණ්ඩුව ආරක්ෂා කිරීමේ පටු උවමනාවෙන් ගොඩනගා ඇති බව අවබෝධ කර ගන්නා ලෙසයි.
නීතිඥ ශිරාල් ලක්තිලක
නායකත්ව මණ්ඩල සභික - දිනන දකුණ.
