මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක්ම ඇසුණු බවය.මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.එම ස්ථානයේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශ කැඳවීමට ද මේ මොහොතේ කටයුතු කර ඇති බවය
මේ අතර 2026 ජූලි 06 දින පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කලේ සිර ගෙදර මිනීමැරුම් වලට හේතුව වී ඇත්තේ නඩු පමාව බවයි.
ඊයේ දිනයේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක් සිද්ධ වෙලා දෙදෙනෙක් මිය ගිහිල්ලා 34 දෙනෙක් තුවාල ලබලා තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිලි දිගු කරනවා අපි මාධ්‍ය තුළ දැක්කා. ඇත්තෙන්ම බන්ධනාගාර තුළ පහුගිය කාලේ නිරන්තරයෙන් ගැටුම් වාර්තා වුණා. සිරකරුවන් අතර ගැටුම්, ඒ වගේම සිරකරුවන් සහ නිලධාරීන් අතර ගැටුම්, ඒ වගේම සමහර වෙලාවල් වලදි සිරකරුවන් විසින් සියදිවි හානිකර ගැනීම් වැනි විවිධ කාරණා පහුගිය කාලේ නිරන්තරයෙන් අපි මාධ්‍ය වාර්තා තුළ දැක්කා. මේකට සිරකරුවන්ටවත් නිලධාරීන්ටවත් දොස් කියලා වැඩක් නැහැ. මේක ඒ අයගේ පාලනයෙන් තොර තත්ත්වයක්. සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා තාප්ප වල පොල් ගෙඩි අකුරෙන් ලියලා තිබුණට, තාප්පයෙන් එහා පැත්තේ ලෝකය සිරකරුවන්ට සාමකාමීව ජීවත්වීමේ වාතාවරණයක් බලධාරීන් ඇති කරලා නැතිනම් මෙවැනි ගැටුම් ඇතිවීම අරුමයක් නෙවෙයි.
අපේ බන්ධනාගාර තුළ සිරකරුවන් වගේම නිලධාරීන් ඉන්නෙත් දැඩි පීඩනයක. ඒකට හේතුව තමයි සිරගෙවල් වල තියෙන තදබදය. වර්තමානයේ අපේ සියලුම සිර කඳවුරු වල ධාරිතාවය සිරකරුවන් 10,395 ක්. හැබැයි 2026 ජූනි 29 වෙනිදා වන විට මේ බන්ධනාගාර තුළ රඳවාගෙන ඉන්නවා 42,034 ක්. ඒ කියන්නේ බන්ධනාගාර වල සැබෑ ධාරිතාවය වගේ සිව් ගුණයක් සිරකරුවන් බන්ධනාගාර තුළ රඳවා තිබෙනවා. ඉතින් තදබදයක් ඇතිවීම අරුමයක් නෙවෙයි. ඒ නිසා මේ බන්ධනාගාර ඇතුලේ වැසිකිලි පහසුකම් සඳහා ලොකු තරඟයක් ඇතිවෙලා තියෙනවා. අපිට වගේ සිරකරුවන්ට කැමති අවස්ථාවක වැසිකිලියට යන්න බැහැ. ඒ අයව හවස හයට කූඩු වලට දාලා වැහුවට පස්සේ උදේ හය වන තුරු ඒ අයට උවමනාවක් ඇති වුණත් වැසිකිලියට යාමට අවස්ථාවක් නැහැ. ඒ නිසා උදේ හයට කූඩු ඇරියම අර සීමිත වැසිකිලිය පාවිච්චි කරන්න දැවැන්ත පොරයක් තදබදයක් ඇතිවෙනවා. සාමාන්‍ය සිර කඳවුරු වල තත්ත්වයත් ඒකයි. හැබැයි සිර කඳවුරේ ධාරිතාවය වගේ හතර ගුණයක් සිරකරුවන් ඉන්නකොට වැසිකිලියට යාම සඳහා සිරකරුවන් අතර මාරාන්තික සටනක් ඇතිවෙනවා. වැසිකිලි යන්න විතරක් නෙවෙයි, ආහාර පාන ගන්න ගියත්, ඒ වගේම නිදාගන්න ගියත්, තමන්ගේ ඥාතීන් හමුවෙන්න ගියත් මේ අයට මේ තදබදය නිසා දැඩි පොරයකට තල්ලු වෙලා තියෙනවා.
තමන් සමාජයෙන් වෙන් වෙලා, පවුලේ හිතවතුන්ගෙන් වෙන් වෙලා, සිරකූඩුවක කාලය ගත කරන්න වෙනවා කියන්නේම දැඩි මානසික පීඩනයක් ඇතිවන තත්ත්වයක්. එහෙමනම් සිරගෙදර තිබෙන්න ඕනේ ඒ පීඩනය අඩු කරන මට්ටමක මිස ඒ පීඩනය වැඩි කරන මට්ටමක නෙවෙයි. නමුත් අවාසනාවට අපේ මේ සිර කඳවුරු වල තියෙන දැඩි තදබදය නිසා සිර කඳවුරු ඇතුලේ ඉන්න සිරකරුවා දිනපතා එන්න එන්නම තමන්ගේ පීඩනය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට මේ සීමිත සම්පත් වලින් මේ සිරකරුවන් පාලනය කරන්න ගියාම නිලධාරීනුත් පීඩාවට පත් වෙනවා. මතක තියාගන්න මේ පාසල් දරුවෝ බලාගන්නවා වගේ නෙවෙයි සිරකරුවන් බලාගන්න එක. සාමාන්‍යයෙන් සමාජයේ ඉන්න නහයට අහන්නෙම නැති පිරිස තමයි හිරගෙදරට එන්නේ. එතකොට එවැනි පිරිසක් සීමිත සම්පත් වලින් බලාගන්න ගියාම නිලධාරීන් ඉන්නෙත් දැඩි පීඩනයක. ඔන්න ඔය නිසා තමයි සිරගෙවල් වලින් නිරන්තරයෙන් ගැටුම් වාර්තා වෙන්නේ.
2022 සිට 2026 අතරතුර සිරගෙවල් වල රඳවා සිටින රැඳවියන්ගේ ගණන දෙගුණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි සිරගෙවල් වල ධාරිතාවයේ කිසිම වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඉතින් බන්ධනාගාර නිලධාරීන් ඉතාම අසරණ වෙලයි ඉන්නේ. නමුත් මේකට උත්තරේ දැන් හෙට ඉඳන් එහෙනම් අපි පාසල් සිරගෙවල් කරමු කියලා සිරගෙවල් වල ධාරිතාවය වැඩි කිරීම නෙවෙයි. ඒකට වෙනත් විසඳුම් තිබෙනවා. ඇත්තෙන්ම සිරගෙවල් වල ධාරිතාවය වැඩි කරනවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ අධිකරණ වල ධාරිතාවය වැඩිකිරීමයි. මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහත්මයා පෙන්නුවා මේ රටේ අධිකරණයක සාමාන්‍යයෙන් නඩු 3,303 ක් විභාග වෙමින් පවතිනවා, එක අධිකරණයක නඩු 3,303 ක් විභාග වෙමින් පවතිනවා. එතකොට නඩු ඇසීම කල් යනවා, නඩුවත් දීර්ඝ කාලයක් අහනවා. සාමාන්‍යයෙන් පොලීසියට පැමිණිල්ලක් කළ දවසේ සිට ඒ නඩුවේ තීන්දුව ලැබෙන්න 2013 කළ සමීක්ෂණය අනුව අවුරුදු 10යි මාස දෙකක් ගතවෙනවා. දැන් ඒ ඇවිල්ලා නඩු තීන්දුව දෙන්න, ඒ අය දිගින් දිගටම අභියාචනා කළොත් තවත් කාලය ගතවෙනවා. මෙන්න මේ අධිකරණය පමාව නිසා තමයි හිරගෙවල් වල විශාල වශයෙන් සිරකරුවන් ගොනු වෙලා තියෙන්නේ. ඇත්තටම අධිකරණයේ ධාරිතාවය වැඩිකිරීමෙන් විතරක් නැත්නම් විනිසුරුවරු ගණන වැඩිකිරීමෙන් විතරක් මේ ප්‍රශ්න විසඳන්න බැහැ. නඩු පමාවට ප්‍රධානම හේතු දෙක තදබදය ඇතිකරන මූලිකම හේතු දෙක තමයි එකක් නීතිපති උපදෙස් පමාවීම, අනිත් පැත්තෙන් රස පරීක්ෂක වාර්තා පමාවීම. එහෙමනම් අධිකරණයේ විතරක් මදි නීතිපති දෙපාර්තමේන්තුවේත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේත් ධාරිතාවය වැඩිකිරීමට ආණ්ඩුව කළ යුතු වෙනවා. විශේෂයෙන්ම නවීන තාක්ෂණය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හඳුන්වා දුන්නොත් මේ වාර්තා කඩිනම් කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා.
නඩුවක් කඩිනමින් අහලා තීන්දු ලබාදෙද්දී එක පැත්තකින් හිරගෙවල් හිස් වෙනවා, මොකද වර්තමානයේ සිරගෙවල් වල ඉන්න රැඳවියන්ගෙන් 75% ක්ම රක්ෂිත බන්ධනාගාර ගත කළ සිරකරුවන් නැත්නම් රිමාන්ඩ් සිරකරුවන්. ඒ අයගේ නඩු අහලා ඒ අය එළියට ගියාම නිකන්ම බන්ධනාගාර හිස් වෙනවා. අනිත් පැත්තෙන් වේගයෙන් යුක්තිය ඉටු වෙනවා දැක්කම ජනතාව නීතියට බයවෙලා නීතිය පිළිපදින්න පටන් ගන්න නිසාත් අපරාධ අඩුවෙනවා. මේ ගැන බන්ධනාගාර ගැටුම් ගැන වාසි වස් දොඩන දේශපාලකයන්ගේ, විශේෂයෙන්ම පාලකයන්ගේ අවධානය යොමුවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
