අනුර ජනප්‍රියතාවය 75% නම් වහාම මැතිවරණ පවත්වමු! CPA වාර්තාව දාන්න තිබුනේ අප්‍රියෙල් 1 වැනිදා?

The Pulse of Sri Lanka 0

පුංචි ඡන්දය සහ මේ සමීක්ෂණය අතරතුර කාලයේදී, හිඟන්නෝ විදිහට රඟපාමින් ජනතාව රවටපු මැති ඇමතිවරුන්ගේ සැබෑ තත්ත්වය හෙළිදරව් වි ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසනවා.


"විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තමන් පැවැත්වූ ජනමත විමසුමක් ප්‍රසිද්ධ කරමින්, ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවය 75% ඉක්මවා ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කළා. මේක කළේ අප්‍රේල් මාසේ පළවෙනිදා නම්, මෝඩයන්ගේ දිනයට කරපු විහිළුවක් කියලා අපට නොසලකා හරින්න තිබුණා. නමුත් මේක කළේ ජූලි මාසේ නිසා අපට එහෙම හිතන්න බැහැ. මේ වාර්තාව පිළිබඳව අපි නොසලකා හිටියොත්, මේ ටොම්පචයෝ 2029 දී ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවය 175% දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලත් වාර්තා කරන්න ඉඩ තිබෙනවා."


සමස්ත ජාතියම සම්බන්ධ වුණු ජනමත විමසුම් තුනක් වසරක් ඇතුළත පැවැත්වුණා.2024 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී මාලිමාවට (අනුර ජනාධිපතිතුමාට) ලැබුණේ 42%ක ඡන්ද ප්‍රතිශතයක්.ඊට මාස දෙකකට පස්සේ, 2024 නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට 62%ක් ලැබුණා.ඒ තමයි ආණ්ඩුවේ ජනප්‍රියතාවය උච්චස්ථානයේ තිබුණු කාලය.


දැන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියනවා, ඒ ප්‍රතිශතය 75.5%ක් දක්වා වර්ධනය වෙලා කියලා.ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ තිබුණු ජනප්‍රියතාවයටත් වඩා 12%කින් වැඩි වෙලා.


හැබැයි, පාර්ලිමේන්තු මැතිවරණයේදී 62%ක් ලබාගත් මාලිමාව, ඊට මාස හයකට පස්සේ (2025 මැයි මාසයේදී) පැවති පළාත් පාලන (පුංචි ඡන්දයේදී) ලබාගත්තේ 43%ක් පමණයි. මාස හයක් ඇතුළත ආණ්ඩුවේ ජනප්‍රියතාවය බරපතළ ලෙස කඩා වැටීමකට ලක්වුණා. දැන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියනවා  පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ තිබුණු ආණ්ඩුවේ ජනප්‍රියත්වයටත් වඩා දැන් ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉහල ගිහින් කියලා.


පුංචි ඡන්දය සහ මේ සමීක්ෂණය අතරතුර කාලයේදී, හිඟන්නෝ විදිහට රඟපාමින් ජනතාව රවටපු මැති ඇමතිවරුන්ගේ සැබෑ තත්ත්වය හෙළිදරව් වුණා.


ගල් අඟුරු වංචාව හෙළිදරව් වුණා.


භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක් අතුරුදහන් වුණා.


තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් ලක්ෂ 7ක් අතුරුදහන් වුණා.


ගොවියාට සහතික මිලක් වී වලට ලබාගන්න බැරුව ගොවියව අතරමං කළා.


කැකුළු හාල් හිඟය, පොල් හිඟය, ලුණු හිඟය, බෙහෙත් හිඟය සහ පොහොර හිඟය වැනි සෑම ආකාරයකම භාණ්ඩ හිඟයන්ට ජනතාවට මුහුණ පාන්න සිද්ධ වුණා.


එවැනි පසුබිමක, 43% තිබුණු ජනප්‍රියතාවය 75% දක්වා ඉහළ නගින්න කිසිම විදිහක් නැහැ කියන එක සාමාන්‍ය සිහිබුද්ධිය තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා.


මේ සමීක්ෂණයේ පරස්පර කතා ගොඩක් තිබෙනවා.


වාර්තාවට අනුව, ජනතාවගෙන් 82%ක් කියනවා තමන්ගේ ආර්ථික මට්ටම එක්කෝ එකතැන පල්වෙනවා, නැත්නම් තිබුණටත් වඩා නරක අතට හැරිලා තියෙනවා කියලා.එහෙම වාතාවරණයක් යටතේ ජනාධිපතිතුමාට කැමති පිරිස 75%ක් වෙන්නේ කොහොමද?


වාර්තාවේ 18%ක් කියනවා තමන්ගේ ආර්ථික මට්ටම පසුගිය වසරට වඩා හොඳ අතට හැරිලා කියලා.අන්න ඒ 18%, අපි ජනාධිපතිතුමාට කැමතියි කියනවා නම්, ඒක තේරුම් ගන්න පුළුවන් කාරණයක්.


විශේෂයෙන්ම, ජනතාවගෙන් 44%ක්ම කියනවා ආණ්ඩුව විසින් ජීවන වියදම කළමනාකරණය කිරීම පිළිබඳව අතෘප්තිමත් කියලා. ඒ එම ජනතාව ජනාධිපතිතුමාට කැමති කියලා තීරණය කළා කියන එක අපි විශ්වාස කරන්නේ කොහොමද?


විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කරලා තියෙන සමීක්ෂණයේ බරපතළ අඩුපාඩු ගණනාවක් තියෙනවා.


මිලියන 22ක ජනගහනයක මතය දැනගන්න, මේ අය නියැදිය විදිහට භාවිතා කරලා තියෙන්නේ පුද්ගලයන් 1,240ක් පමණයි.


නියැදිය කුඩා වෙන්න කුඩා වෙන්න, මහජන මතය විකෘති වීමේ අවදානමක් තියෙනවා කියන එක සංඛ්‍යා ලේඛන විද්‍යාවේ උගන්වන වැදගත් මූලධර්මයක්.


ඒ වගේම, මේ සමීක්ෂණයට අනුග්‍රහය දැක්වූයේ කවුදැයි වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ.


මෙවැනි සමීක්ෂණයක් කරන්න සල්ලි වියදම් කළ කෙනා දැනගත්තම, සමීක්ෂණයේ යටි අරමුණු තිබුණාද නැද්ද යන්න හොයා බලන්න තිබුණා.


මේ නියැදිය නියෝජිතත්ව නියැදියක් (Representative sample) නෙවෙයි. ඒ කියන්නේ රටේ ජනගහනයේ ලක්ෂණ මේ නියැදිය තුළ ප්‍රතිනිර්මාණය වෙලා නැහැ.


උදාහරණයක් ලෙස, ලංකාවේ බෞද්ධයන් 70%ක් ඉන්නවා. නියෝජිතත්ව නියැදියක් නම් අර 1,240න් 868ක් බෞද්ධ වෙන්න ඕනේ. නමුත් මේ අය කරලා තියෙන්නේ අහඹු ලෙස 1,240ක් සමීක්ෂණයට ගන්නවා. ඒ අය අතර බෞද්ධයන් ඉන්නේ 100යි නම්, ඒක අර 868ක් හිටියා විදිහට බර තැබීමකින් වැඩි කරනවා.එහෙම බර තැබීමක් කරද්දී, ඒ බර තැබීම කෙතරම් යථාර්ථවාදීද කියලා දැනගන්න ජාතිය, ආගම, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපන මට්ටම වැනි නියැදියේ ලක්ෂණ වාර්තාවේ හෙළිදරව් කළ යුතු වුවත්, එවැනි හෙළිදරව් කිරීමක් වාර්තාවේ නැහැ.


විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියන්නේ විදේශීය ආධාර ලබමින්, බලය බෙදීම වෙනුවෙන් දශක ගණනාවක් පුරාවට දැඩි ලෙස පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් (NGO). මට හිතෙන විදිහට නම් මේ අය ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න පැකිලෙමින් ඉන්න නිසා, "නැහැ නැහැ, ඕගොල්ලෝ මාර ජනප්‍රියයි, බය නැතුව පළාත් සභා මැතිවරණය තියන්න" කියලා ආණ්ඩුව ගොනාට ඇන්දීමට දක්වපු උත්සාහයක් විදිහටයි මේ සමීක්ෂණ වාර්තාව අපි දකින්නේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

About Us

A major controversy regarding the procurement of coal for Sri Lanka's Lakvijaya Coal Power Plant (Norochcholai) emerged in early 2026 #AnuraGoHome