ඔස්ට්‍රේලියාවට ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේ ගනුදෙනුවට අදාළව සිදුවූ සයිබර් අපරාධය ආශ්‍රිත වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිකුත් කල වාර්තාව අතේ රෝලක් බව නිවේදනයක් නිකුත් කරමින් දිනන දකුණ සාමූහිකය සදහන් කරනවා.එම සාමූහිකය පෙන්වා දෙන්නේ වාර්තාව උත්සාහ දරා ඇත්තේ නිලධාරීන්ගේ “අත්දැකීම් නොමැතිකම" සදහා අනිසි අවධාරනයක් ලබා දෙමින් සැබෑ තක්කඩියන් වෙත අවධානය යොමුවීම වෙනතකට යොමු කිරීමට බවයි.
මාධ්‍ය නිවේදනය
2026.07.19
ඔස්ට්‍රේලියාවට ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේ ගනුදෙනුවට අදාළව සිදුවූ සයිබර් අපරාධය ආශ්‍රිත වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිකුත් කල වාර්තාව අතේ රෝලක්.
කනිෂ්ඨ නිලධාරීන් බිල්ලට දී සැබෑ අපරාධ කරුවන් සොයා ගැනීමට ඇති ඉඩකඩ චේතනාන්විතව සැගවීමට වාර්ථාව දරා ඇති උත්සාහය හෙලා දකිනු ලබයි.
2026 ජූලි 10 වැනි දින නිකුත් කරන ලද ඉහත සහන් පාර්ලිමේන්තු වාර්තාවේ අන්තර්ගතය දිනන දකුණ සාමූහිකය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනු ලබන බව ආරම්භයේදීම ප්‍රකාෂ කරනු ලබයි.
මෙම වාර්තාව වගවීම ඉටු කිරීම වෙනුවට, ඔස්ට්‍රේලියාවට ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේ ගනුදෙනුවට අදාලව සිදුවූ සයිබර් අපරාධය පිටුපස සිටින ඉහළ පෙළේ මහමොළකරුවන් ආරක්ෂා කිරීමට සහ ඒ සඳහා ඉඩ සැලසූ දූෂිත ක්‍රියාවලිය වසා දැමීමට සැලසුම් කරන ලද ආයතනික මට්ටමේ වසන් කිරීමක් බව ඉතා පැහැදිලිබව මෙම වාර්තාවේ අන්තර්ගතය සනාථ කරනු ලබන බව අප සාමුහිකයේ මතය වන්නේය.
පාර්ලිමේන්තු වාර්තාවේ සොයාගැනීම් දැඩි නිරීක්ෂණයකට ලක් කරන කල තහවුරු වන්නේ එම වාර්තාව සත්‍යය යටපත් කිරීම සඳහා හිතාමතාම උත්සාහ දරා ඇති බවකි.වාර්තාව උත්සාහ දරා ඇත්තේ නිලධාරීන්ගේ “අත්දැකීම් නොමැතිකම" සදහා අනිසි අවධාරනයක් ලබා දෙමින් සැබෑ තක්කඩියන් වෙත අවධානය යොමුවීම වෙනතකට යොමු කිරීමයි.
අවසානයේදී එවැනි ආයතනික වගකීමක් පැහැර හැරි මහ බැංකුව මෙම දැවැන්ත වංචාවට වගකිව යුත්තා ලෙස සමාජයට ඉගි කිරීමට කටයුතු කිරීම හාස්‍ය ජනක බව මෙහිලා කිව යුතුව තිබේ.ආයතනික පාලන පද්ධතියේ සිදු වූ මහා පරිමාණ බිඳවැටීමක්, හුදෙක් මානව සම්පත් ගැටලුවක් ලෙස පෙන්වීමට වාර්තාව උත්සාහ කිරීම අප රට තුල පවතින දූෂණ විරෝධී සංස්කෟතියේ දිග පලල අපට මැනවින් වටහා දෙන්නේය.
භාණ්ඩාගාරය තුල පිහිටවු ණය කළමනාකරන දෙපාර්තමේන්තුව තුළ සිටින "අත්දැකීම් නොමැති නිලධාරීන්ගේ" පිටින් වරද පැටවීම හරහා, සාපරාධී චේතනාවකින් යුතුව සිදුකල අපරාධයක් හුදෙක් පරිපාලනමය නොහැකියාවක් ලෙස ලඝු කිරීමට වාර්ථාව කටයුතු කිරීම මගින් මෙරට තුල පවතින පාලකයන් විසින් දණ්ඩ මුක්තිය(impunity) ලබා දමේ සංස්කෘතිය නැවතත් වාර්තාව මගින්ම තහවුරු කොට තිබේ.
එමගින් මෙම වංචාවට අදාලව ඉහළ නිලධාරීන්ගේ ඇති සම්බන්ධතාවය හෝ ඔවුන් හිතාමතාම ඇස් වසාගෙන සිටීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම වැළැක්වීමට හැකි වී තිබේ.දිනන දකුන සාමූහිකය කියා සිටින්නේ මෙම සමස්ත වංචනික ක්‍රියාවලියේ පවතින මූලික දුර්වලතා විශ්ලේෂණය කිරීම වාර්තාව මඟින් හිතාමතාම මඟහැර ඇති බවයි.
ඒ සදහා කමිටුව ගෙන එනු ලබන හේතුව වී ඇත්තේ කමිටුවේ වපසරිය එවැන්නක් සදහා බාධාවක් පනවනු ලබන බවයි. වංචාවට අදාලව හේතු-පලය සෙවීම එම නිසා ඔවුන් අත්හැර දමා තිබේ.නමුත් සත්‍ය වන්නේ පද්ධතියේ පවතින අඩුපාඩු විමර්ශනය කළහොත්, මෙම සොරකමට ඉඩ සැලසෙන පරිදි පද්ධතිය හිතාමතාම සකස් කර ඇති බව හෙළිවීමයි.
එසේ සොයා බැලීමේ වගකීම කමිටුවේ වපසරිය මත පවතින සීමා පෙන්වමින් මෙම පාර්ලිමේන්තු කමිටුව අතහැර දමා තිබේ.මෙය මහජනතාවගේ පරමාධිපත්‍ය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කිරීමට පවතින පරම අයිතිය අමු අමුවේම උල්ලංඝනය කොට දැමීමකි.
එම නිසා සුළු නිලධාරීන් අතින් සිදු වූ වැරදි පමණක් ඉස්මතු කරමින් මෙම වංචාව සඳහා සැබෑ ලෙසම ඉඩප්‍රස්ථා සලසා දුන් ප්‍රධානීන් ආරක්ෂා කිරීමට වාර්තාව මගින් ඉඩ සලසා තිබේ.
මෙහිලා සදහන් කලයුතු වඩාත්ම කණගාටුදායක කරුණ නම්, මෙම පරීක්ෂණ දැඩිව සිදුවෙමින් පැවති වකවානුවේදී, අදාළ ඒකකයට අනුයුක්තව සේවය කළ කැපවූ නිලධාරියෙකු සියදිවි නසාගැනීම පිළිබඳව වාර්තාව සම්පූර්ණයෙන්ම නිශ්ශබ්දතාවයක් රැකීමයි.
මෙම ඛේදවාචකය වාර්තාවෙන් ඉවත් කිරීම තුළින්, විමර්ශන හමුවේ එල්ල වූ දැඩි පීඩනය සහ මෙම වසන් කිරීම අතර ඇති සබැඳියාව මහජනතාවට වැටහීම වැළැක්වීමට කටයුතු කර ඇත. එමෙන්ම, එම නිලධාරියා සත්‍යය හෙළි කිරීමට දැරූ උත්සාහයන් රාජ්‍ය වාර්තාවලින් බැහැර කිරීමටද මෙයින් ක්‍රියා කොට ඇතිබව පෙනෙන්නට තිබේ.
අත්දැකීම් නොමැතිකම නිසා මෙවැනි මහා පරිමාණ ආයතනික සොරකම් සැලසුම් කිරීමට, ක්‍රියාත්මක කිරීමට හෝ සැඟවීමට නොහැකි බව අප සාමූහිකයේ ස්ථාවරයයි.ඒ සඳහා සම්බන්ධීකරණය වූ සාපරාධී චේතනාවක් අවශ්‍ය වන බව අප අවධාරණය කරනු ලබයි.
එම නිසා දිනන දකුණ සාමූහිකය කියා සිටින්නේ වහාම ක්‍රියාත්මක වන ස්වාධීන වෝහාරික විගණනයක් නියම කිරීමට පාර්ලිමේන්තු කමිටුවේ වගකීම වුවද එවැනි නිර්දේශයක් මගින් පවතින තත්ත්වයට අභියෝග කිරීමට මෙම පාර්ලිමේන්තු කාරක සභාවට දේශපාලන උවමනාවක් නොමැති බව මෙම වාර්තාව මගින් නිසැක ලෙසම ඔප්පු වී ඇති බවයි.
එම නිසා පරිපාලනමය චෝදනාවලින් ඔබ්බට ගිය අපරාධ විමර්ශනයක් පවත්වමින් සුළු සේවකයින් පිට වරද පැටවීමට දරන උත්සාහයන් පසෙකලා, මෙම අපරාධයෙන් සැබෑ ලෙසම ප්‍රතිලාභ ලැබූ ඉහළ පෙළේ තීරණ ගන්නන් වෙත විමර්ශන මෙහෙයවන ලෙස අපි නීතිය බලාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටිමු.
එසේම මියගිය නිලධාරියාට එල්ල වූ මානසික පීඩනය පිළිබඳ නිල විමර්ශනයක් පවත්වන ලෙස අප සාමූහිකය නැවත වරක් ඉල්ලා සිටින්නෙමු.සියදිවි නසාගත් නිලධාරියාට රැකියා ස්ථානයෙන් සහ දේශපාලනිකව එල්ල වූ බලපෑම් සහ පීඩනය පිළිබඳව විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පැවැත්වීම එවැනි පරීක්ෂණයක අරමුණ විය යුතුව තිබේ.
පාර්ලිමේන්තු වාර්තාව මඟින් මෙම කරුණ මඟහැරීම, සාක්ෂි හිතාමතාම යටපත් කිරීමක් ලෙස අප සලකන්නෙමු.
මෙම මහා පරිමාණ අපරාධය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ලෙස මෙම වසන් කරන ලද ලියවිල්ලට ඉඩ දීමට අපි සූදානම් නැත. සැබෑ වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන තෙක් දිනන දකුණ සාමූහිකය සිවිල් සමාජය පෙළගස්වමින් අඛණ්ඩව කටයුතු කිරීමට අප අදිටන් කරගෙන සිටින බව මෙහිලා අවධාරණය කොට සිටී.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව

