ජූලි 5-6 දිනවල මීගමුව බන්ධනාගාරයේ සිදු වූ මරනීය ප්‍රචන්ඩ ක්‍රියාවලින් ජීවිත දුසිම් ගනනක් බිලිගත් අතර, දැන් ඉස්මත්තට එමින් ඇති වාර්තා පෙන්වා දෙන්නේ, නොසන්සුන්තාව ඇති කල බවට චෝදනා ලැබූ සිරකරුවන් විවිධ වධ හිංසාවලට බඳුන් කෙරෙන බවයි.
නිල කතාන්දරයට අනුව, බන්ධනාගාරය තුල ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල වන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් හෙලිදරව් වීමෙන් පසු ව ප්‍රචන්ඩත්වය ඇති වූ අතර, රැඳවියන් කාර්ය මන්ඩලයට පහර දී, ආයුධ පැහැර ගෙන පැන යාමට උත්සාහ කල අවස්ථවේ බන්ධනාගාර නිලධාරීන් අවම බලය පමනක් භාවිතා කරමින් ක්‍රියා කර තිබේ.
මුලින් ම තහවුරු කරන ලද මරන 27 න් 20 ක් සිරකරුවන් වන අතර හත් දෙනෙක් බන්ධනාගාර පොලිස් නිලධාරියෝ වූහ. දින දෙකක් පුරා පැවති ගැටුම්වල දී තවත් රැඳවියන් 54 ක් සහ නිලධාරීන් 23 දෙනෙකු තුවාල ලැබූහ.
වෙනත් බන්ධනාගාරවලට මාරු කරන ලද සිරකරුවන් දෙදෙනෙකු ද - අයෙක් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහ තවත් කෙනෙකු අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ - 8දා වන විට පැහැදිලි නොකල හේතුවලින් මරනයට පත් විය. තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර නිලධාරියෙකු ද ජූලි 9දා මිය ගිය විට සමස්ත මරන සංඛ්‍යාව 30 දක්වා ඉහල ගියේ ය.
මාරාන්තික කෝලාහලවලින් පසු වහා ම මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදු ව, හමුදාවේ පරිවාර සහාය ද ඇති ව සිරකරුවන් 1,000 කට වැඩි පිරිසක් මීගමුවෙන් අගුනකොලපැලැස්ස, බෝගම්බර, අනුරාධපුර, පොලොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර පහකට මාරු කර යැවුනි. අධිකරන අමාත්‍යවරයා සහ බන්ධනාගාර බලධාරීන් කියා සිටියේ සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙලෙස රැඳවියන් ප්‍රතිස්ථානගත කිරීම අත්‍යවශ්‍ය වූ බවයි.
මෙම ස්ථාන මාරුවීම් සිදු කිරීමේ දී, තම ආදරනීයයන් පිලිබඳ තොරතුරු සොයමින් මීගමුව බන්ධනාගාරය පිටත රැස් ව සිටි ඥාතීන්ගේ වේදනාව, බන්ධනාගාර බලධාරීන් විසින් තඹේකට මායිම් කලේ නැත. තුවාල ලැබූ රැඳවියන්ගේ තොරතුරු මීගමුව රෝහල් පරිපාලනය විසින් පැය ගනනාවකට පසු ව පමනක් නිදහස් කලේ, තම ආදරනීයන් පිලිබඳව කිසිදු තොරතුරක් නොමැති ව අලාමුලා තත්වයට පත්කරන ලැබ සිටි ඥාතීන්ගේ අඛන්ඩ ඉල්ලීම නිසා පමනකි. එලෙස තම ආදරනීයන් ගැන බලධාරීන්ගේ ආයාචනාත්මක ව තොරතුරු විමසන ඥාතීන් රූපවාහීනි දර්ශන හරහා දැකගත හැකි විය. එහෙත්, එක් එක් රැඳවියා දැන් රඳවා ඇති ස්ථානය සහ ඔහුගේ තත්වය පිලිබඳ පැහැදිලි තොරතුරු ලබා දීම බලධාරීන් විසින් එක දිගට ම ප්‍රතික්ෂේප කර තිබේ.
අමානුෂික ව සැලකීම් සහ සිරකරුවන්ට තිරස්චීන වධහිංසා පැමිනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය කුප්‍රකට ව තිබෙන තත්වයක් තුල, බලධාරීන් රැඳවියන් ගැන නිසි තොරතුරු සඟවා සිටීම ගැන මහජනයා තුල බියක් ඇති වීම සාධාරන ය. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (සීපීආර්පී) චෝදනා කලේ, ජූලි 7දා මීගමුව බන්ධනාගාරයෙන් මාරු කරන ලද රැඳවියන්ට ඔවුන් නැවත රැඳ වූ බන්ධනාගාර තුල දී වධ හිංසා පමුනුවන බවට ය. ගැටුම මෙහෙයවූයේ යැයි චෝදනා ලැබ සිටින ලසන්ත ප්‍රදීප් කුමාර ඇතුලු රැඳවියන් පස් දෙනෙකු රහසිගත ආකාරයෙන් හුදකලාවේ තබා ඇති බවත්, එමඟින් “ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක්” ඇති වී ඔවුන් වධහිංසා පැමිනවීමේ ඉහල අවදානමකට නිරාවරනය වී ඇති බවත් සීපීආර්පී අනතුරු ඇඟවී ය.
ජූලි 8දා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (එච්ආර්සීඑස්එල්) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවමින්, ඊට කලින් දිනයේ (7) හවස ඉහත සඳහන් බන්ධනාගාරවලට මාරු කරන ලද රැඳවියන් කිහිප දෙනෙකු “වධහිංසා සහ වෙනත් ආකාරයේ අයහපත් සැලකිලි” වලට ලක් ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කලේ ය. මානව හිමිකම් කොමිසමේ ක්ෂනික ප්‍රතිචාර ඒකකයේ කන්ඩායමක් රාත්‍රී 8:30 ට පමන රැඳවියන්ගේ තත්ත්වය සොයා බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේ ඔවුන්ට එහි ඇතුලු වීමට අවසර ලැබුනේ නැත. ඒ එවැනි පරීක්ෂන පැවැත්වීම සඳහා ඕනෑ ම වේලාවක ඕනෑ ම බන්ධනාගාරයකට ඇතුලු වීමට එච්ආර්සීඑස්එල් පනත යටතේ කොමිසමට බලය පවරා තිබිය දී ත් ය. වෙනත් බන්ධනාගාරවලට මාරු කරන ලද රැඳවියන් ද වධහිංසාවට ලක්වන බව ද එම ලිපිය ඇඟවුම් කර තිබිනි.
“කඩිනම් පරීක්ෂනයක්” ඉල්ලා සිටිමින්, සිරකරුවන්ගේ සුභසාධනය පරීක්ෂා කිරීම සඳහා එච්ආර්සීඑස්එල්ට පූර්න ප්‍රවේශය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිවේදනයක් නිකුත් කලේ ය. වැඩෙන පීඩනය මධ්‍යයේ, ඊට පසු ව ඔවුන්ට බන්ධනාගාරය තුලට යාමේ අවසරය ලැබුනු නමුත් ප්‍රමාදය නිසා කාලෝචිත පරීක්ෂනයක් පැවැත්වීමට අවස්ථාව අහිමි වූ බව කොමිසම සඳහන් කලේ ය. තම කන්ඩායමට බන්ධනාගාරයට ප්‍රවේශ වීම තහනම් කලේ කවර වාතාවරනයන් යටතේ ද යන්න පැහැදිලි හේතු දැන ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (රාජකාරි ආවරනය කරන) සහ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා කැඳ වූ බව එච්ආර්සීඑස්එල් පැවසී ය.
මීගමුව බන්ධනාගාර රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවීමෙන් අනතුරුව, ජූලි 8දා සිදුවූ රැඳවියන් දෙදෙනාගේ මරන, සිවිල් අයිතීන් සම්බන්ධ කන්ඩායම් විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මාරාන්තික, කිසිදු වගකීමක් නැති යාන්ත්‍රනයක් ලෙස සලකන්නේ මන්දැයි පැහැදිලි ව පෙන්නුම් කරයි. මීගමුවේ සිට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට මාරු කරන ලද එක් සිරකරුවෙකු නිලධාරීන් විසින් සරල ව ම “හදිසි රෝගයක්” ලෙස හැඳින් වූ තත්වයකින් මරනයට පත් ව තිබේ. ඔහුගේ නමක්, වෛද්‍ය විස්තර හෝ මිය ගිය වේලාව ගැන කිසිදු විස්තරයක් නැත. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වහා ම මෙම මරනය දැඩි ලෙස සැක සහිත එකක් ලෙස සලකුනු කල අතර, බූස්ස යනු හමුදා විසින් පරිපාලනය කරන මධ්‍යස්ථානයක් වන අතර, එහි දී රැඳවියන් සූක්ෂ ම ව සඟවා තබා සිටින බවත්, ඔවුන් ස්වාධීන ව අධීක්ෂනය කිරීමේ අවස්ථා දැඩි ලෙස සීමා කර ඇති බවත් අවධාරනය කලේ ය.
අගුනුකොලපැලැස්සට මාරු කරන ලද දෙවන සිරකරුවා ද එදින ම මිය ගොස් තිබුනේ, කිසි සේ ත් ම ප්‍රසිද්ධියේ පැහැදිලි නොකල හේතුවකිනි. මෙම බන්ධනාගාරයේ ම සිදු වූ මෙ වැනි ම නොපැහැදිලි හේතු සහිත මරනයකින් සති කිහිපයකට පසු සිදු වූ මෙම මරනය ද නිකම්ම “හදිසි අසනීපයකට” ඈඳා තිබේ. සීපීආර්පී සහ එක්සත් ජාතීන්ගේ ආයතන විසින් ලේඛනගත කර තිබෙන ආකාරයට, තොරතුරු වසන් කිරීම, පූර්ව හිරිහැර කිරීම් සහ ක්‍රමානුකූල ව වධහිංසා පැමිනවීම් පිලිබඳ මෙම සන්දර්භය තුල, ස්වභාවික හේතූන් මත නොව, ප්‍රචන්ඩ අමානුෂික සැලකීම් නිසා මෙම සිරකරුවන් මරනයට පත් ව ඇතයි යන්න නිගමනය කිරීම මුලුමනින් ම සහේතුක ය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ද පාතාල සාමාජිකයන් යැයි ද කියනු ලැබූවන් බන්ධනාගාරයෙන් පැන යාම වැලැක්වීම සඳහා “තම ජීවිත පරිත්‍යාග කල” “වීරයන්” ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් නිරූපනය කරන උමතු මාධ්‍ය ව්‍යාපාරයක් මධ්‍යයේ, මීගමුවෙන් මාරුකර යැවූ රැඳවියන්ගේ තත්වය වඩ වඩාත් භයානක තත්වයට පත් වී තිබේ. ආන්ඩුවේ කතාව ම වමාරමින්, දක්ෂිනාංශික අයිලන්ඩ් පුවත්පත ජූලි 8දා කතුවැකියෙන් මෙසේ ලීවේ ය: “මත්ද්‍රව්‍ය මාෆියාව නැවතත් තම ශක්තිය පෙන්වා ඇත. ආන්ඩුව, රට මත්ද්‍රව්‍යවලින් නිදහස් කිරීම සඳහා අභිලාෂකාමී ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, එය එසේ වීම යුක්තිසහගත ය. රට පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය වැටලීමට උපරිම මහජන සහයෝගය ලැබිය යුතු ය.”
අධිකරන අමාත්‍ය හර්ෂන නානායක්කාර බන්ධනාගාර නිලධාරීන් ආරක්ෂා කරමින් නැවත නැවතත් කියා සිටියේ, ඔවුන් සාමය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුනින් ආත්මාරක්ෂාව සඳහා “අවම බලය” පමනක් භාවිතා කල බවයි. බන්ධනාගාර ගේට්ටුවෙන් වෙඩි තබන නිලධාරියෙකු “ආරක්ෂා කරන ලෙස” අවශේෂ බන්ධනාගාර පොලිස් නිලධාරීන් කීප දෙනෙක් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමෙන් පසු ව, නානායක්කාර ඔවුන්ගේ කතාව අනුමත කරමින්, නිලධාරීන්ට “උපරිම සාධාරනයක් කරනවා” යැයි කීවේ ය. මෙය වෙඩි තැබීම නිල වශයෙන් යුක්ති සහගත කෙරෙනු ඇති බවට ලබා දුන් දේශපාලන සංඥාවකි.
මීගමුව බන්ධනාගාර ඝාතන සම්බන්ධයෙන් වෛද්‍ය සුජීව වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ අධිකරන වෛද්‍ය නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක අධිකරන වෛද්‍ය පරීක්ෂන නිගමන, ජූලි 10දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ ය. මීගමුව රෝහලට මාරු කරන ලද මල සිරුරු 28 න් 24 ක් සඳහා මරන පරීක්ෂන මන්ඩලය විසින් පවත්වන ලදී. මරන 24 න් 14 ක් වෙඩි තැබීම් හේතුවෙන් සිදු වූ බවත්, වින්දිතයින් 9 දෙනෙකු මොට්ට ද්‍රව්‍යවලින් සිදු වූ තුවාල හේතුවෙන් මිය ගිය බවත් එහි සඳහන් විය. වැඩිදුර විමර්ශනය කිරීමට නියමිත ව ඇති එක් මරනයකට විවෘත තීන්දුවක් ලබා දෙන ලදි.
පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවලට අනුව, බන්ධනාගාර පොලිස් නිලධාරීන් මිය ගොස් තිබුනේ පහරදුන් මොට ද්‍රව්‍යවලින් කම්පනය හේතුවෙන් හිසට සිදු වූ දරුනු තුවාල හේතුවෙනි. මෙම සොයා ගැනීම්, ජූලි 7දා ඒබීසී ප්‍රවෘත්ති වාර්තාවට අනුව, රැඳවියන් ගිනි අවි අල්ලාගෙන ආරක්ෂකයින්ට වෙඩි තැබූ බවත්, ආරක්ෂක නිලධාරීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බවත් අධිකරන ඇමති නානායක්කාර සිදුකල ප්‍රකාශවල පල්ල ඇර තිබේ. වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ප්‍රසාද් හේමන්ත කුමාර ද බන්ධනාගාර පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාවන් තවදුරටත් ආරක්ෂා කලේ ය.
මෙම නිලධාරීන් සාමාන්‍ය ජේලර්වරුන් නොවේ
මෙම නිලධාරීන් සාමාන්‍ය ජේලර්වරුන් නොවේ. ආන්ඩුවේ ඩේලි නිවුස් පුවත්පතට අනුව, මීගමුවේ දී මියගිය බන්ධනාගාර නිලධාරීන් හත් දෙනා ම, “බන්ධනාගාරවල දූෂනය සහ විෂමාචාරය මැඩපැවැත්වීමට” යැයි කියමින්, 2022 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව යටතේ නිර්මානය කරන ලද සහ හිටපු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කාර්ය මන්ඩලයක් සහිත ශ්‍රී ලංකා බන්ධනාගාර හදිසි ක්‍රියාමාර්ග සහ උපායික (SPEAT) බලකායට අයත් නිලධාරීන් හෙවත් බන්ධ පොලිස් නිලධාරීන් ය.
ජූලි 6දා උදෑසන ගැටුම ඇති වූයේ බන්ධ පොලිස් නිලධාරීන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියා නිසා බව, ජූලි 9දා ජනප්‍රිය යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, සීපීආර්පී කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා චෝදනා කලේ ය. මෙම නිලධාරීන් සිරකරුවන්ට දන ගස්සවා බන්ධනාගාර නිලධාරීන්ගෙන් සමාව ගන්නා ලෙස ඔවුන්ට බල කල බවත්, එමඟින් දැනටමත් කැලඹිලි සහිත, අතිශය තදබල වූ පරිශ්‍රය තුල ආතතීන් ඇවිල වූ බවත් සිල්වා සඳහන් කලේ ය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, මියගිය රැඳවියන්ගේ ඥාතීන් ඇතුලු 150 දෙනෙකු පමන සම්බන්ධ වූ විරෝධතාවක් 10දා කොලඹ අධිකරන අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත් වූයේ ය. සිරකරුවන්ට යුක්තිය ඉටු කරන ලෙසත්, රඳවා සිටින අය පිලිබඳ නිවැරදි තොරතුරු වහා ම ලබා දෙන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. “මීගමුව සිරකරුවන්ට අත නොතබනු,” “අද රැඳවියන්ට, හෙට ඔබට,” “සිරකරුවන් දඩයම් කිරීම නවත්වන්න,” “සිරකරුවන්ට පහර දීම සහ මරා දැමීම නවත්වන්න,” “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය, ඔවුන්ට ද ජීවත් වීමේ අයිතිය ලබා දෙන්න” , “සිරකරුවන් පිලිබඳ තොරතුරු වහා ම ලබා දෙන්න” යනාදී පුවරු ඔවුහු ප්‍රදර්ශනය කලෝ ය.
පසුගිය මාසයේ දී, එක්සත් ජාතීන්ගේ වධහිංසා වැලැක්වීමේ අනුකමිටුවට (එස්පීටී) සීපීආර්පී ඉදිරිපත් කල සවිස්තරාත්මක වාර්තාවක් මගින්, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ක්‍රමානුකූල වධහිංසා පැමිනවීම්, අධික තදබදය සහ ආයතනය සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් නොලබා ක්‍රියාකිරීමට ඇති හැකියාව යනාදියෙන් ඔඩු දුවා ඇති එකක් බව හෙලිදරව් කලේ ය.
වර්ග මීටර් 1.2 ක් වැනි කුඩා ඉඩ ප්‍රමානයකට සිරකරුවන් සීමා කර ඇති බවත්, ඔවුන්ට නිදා ගැනීමට ලැබෙනුනේ මාරුවෙන් මාරුවට හෝ වැසිකිලි අසල බවත්, අපිරිසිදු, අමානුෂික තත්වයන්ට මුහුන දෙන බවත් වාර්තාවේ සඳහන් වෙයි. දැඩි පහර දීම්, වෝටර්බෝඩ් (හිස ජලයේ ගිල්වා අත්ඇරීම), කකුල්වලින් උඩු යටිකුරු කර එල්ලා තැබීම, ඉන්ද්‍රීය උත්තේජන අහිමි කිරීම සහ ලිංගික අපයෝජනය මෙන් ම වෛද්‍ය නොවන පුද්ගලයින් විසින් ශරීර කුහර නින්දිත ලෙස පරීක්ෂා කිරීම ඇතුලු අනවරත වධහිංසා පැමිනවීම් සම්බන්ධයෙන් වාර්තාව චෝදනා කරයි.
මානව හිමිකම් ක්‍රියාකාරීන්ට පරීක්ෂාවට බඳුන් කිරීමට නොහැකි වන ආකාරයෙන් රැඳවියන් වසන් කර තබන බවට චෝදනා එල්ල වන රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයක්, හමුදාව විසින් පරිපාලනය කිරීම පිලිබඳව ද වාර්තාව සඳහන් කරයි. තව ද නීතිඥයෝ සහ ඥාතීහු බිය ගැන්වීම්වලට මුහුන දෙති. 2024 ජනවාරි සිට 2025 මැයි දක්වා කාලය තුල අත්අඩංගුවේ සිටිය දී අවම වසයෙන් පුද්ගලින් 173 ක් මරනයට පත් ව තිබීමේ කාරනය උපුටා දක්වමින්, වාර්තාව, සිරගෙවල් තුල අපයෝජන සඳහා වගවීමක් නොමැතිකම හෙලා දකියි. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් විට, සාමාන්‍ය ජනගහනය අතරට වඩා සාපෙක්ෂ ව බන්ධනාගාරගත පිරිස් අතර ක්ෂය රෝගය 100 ගුනයකින් වැඩි බවත්, වෛද්‍ය කාර්ය මන්ඩලයේ හිඟය, පුලුල් මානසික සෞඛ්‍ය ගැටලු සහ කාන්තා සිරකරුවන් සඳහා මූලික සනීපාරක්ෂක කටයුතු සඳහා ප්‍රමානවත් ප්‍රවේශයක් නොමැති වීම වැනි දරුනු සෞඛ්‍ය සේවා අර්බුදයක් පිලිබඳවත් එය තවදුරටත් අවධාරනය කරයි.
සිරකරුවන් 11,762 දෙනෙකු පමනක් රඳවා තැබීමට ප්‍රමානවත් අයුරින් ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දැන් 42,000 කට වඩා සිටින අතර එය අපේක්ෂිත ධාරිතාව මෙන් හතර ගුනයකි. ආසන්න වශයෙන් රැඳවියන් 900 ක් සඳහා ඉදිකරන ලද මීගමුව බන්ධනාගාරයේ ඝාතන සිදුවන අවස්ථාවේ 2,400 කට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටියහ. මෙම අතිශයින් අමානුෂික තත්වයන් අනිවාර්යයෙන් ම ප්‍රචන්ඩ ගැටුම් දක්වා පුපුරා යා හැකි ආතතීන් ඇති කරයි.
රටේ බන්ධනාගාරගත පිරිසෙන් සියයට 75 ක් පමන සමන්විත වන්නේ, නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටින රිමාන්ඩ් සිරකරුවන්ගෙනි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් ද වන නීතිඥ අම්බිකා සත්ගුනනාදන් පවසන පරිදි, 2023 දී සිරගත කරන ලද අයගෙන් සියයට 67.8 ක් එසේ සිරගත කර ඇත්තේ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම නිසා වන අතර, එය “දිලිදුකම සාපරාධීකරනයට ලක් කිරීම” නම් වේ.
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරු පන්තිය අවශ්‍ය නිගමනවලට එලඹිය යුතු ය. බන්ධනාගාර සමූල ඝාතන යනු හුදකලා වියුක්ත සිදුවීම් නොවේ; ඒවා ගැඹුරු වන සමාජ අර්බුදයට වඩාත් කුරිරු ආකාරයේ මර්දනයකින් ප්‍රතිචාර දක්වන ධනවාදී රාජ්‍යයක තාර්කික ප්‍රකාශනය යි. බන්ධනාගාර ප්‍රචන්ඩත්වයට සහ රාජ්‍ය ඝාතනවලට එරෙහි සටන, ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනෙන් වෙන් කල නොහැක.
පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය ඇතුලු සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීන ව, සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ වූ කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයකට පමනක් ම, මෙම ම්ලේච්ඡ ක්‍රියා අවසන් කල හැකි ය.
