තමන් විනාශ කරනවා යැයි පොරොන්දු වූ ඒකාධිපති මෙවලම්වලින්ම NPP රජය මත් වී ඇති බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවාදීමක් ලෙස අර්ථ ගැන්වීමට විභවයක් මෙම ජනමතය නියෝජනය කරනු ලබන බව නිවේදනයක් නිකුත් කරමින් දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙනවා.
මාධ්‍ය නිවේදනය
2026.07.16.
ඒකාධිපති මෙවලම්වලින්ම රජය මත් වී ඇති බවත්,ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවාදීමක් ලෙස මෙම මහජන මතයෙන් පිළිබිඹු වෙයි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී සිදුකල සමාජ දර්ශක (Social Indicator) මත විමසුමෙන් හෙළිවන සැබෑ දේශපාලන යථාර්තය සමාජගත කිරීම කාලෝචිත වන්නේය. එසේ නොවන්නේ නම් මේවන විට සිදුවෙමින් පවතින ආකාරයට මත විමසුම තුළින් වියුක්තව ලබා ගන්නා අදහස් විවිධ දේශපාලන බලවේග විසින් තමන්ට රිසි පරිදි සමාජගත කිරීම හේතුවෙන්, සමාජය පිළිබද නිසි දේශපාලන කියවීමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අප වෙතින් ඇවිරෙන බව කිව යුතුව තිබේ.
අප විසින් මෙම මත විමසුම කියවා ගන්නේ, මහජනතාව දැනට රජයට සහන කාලයක් ලබා දී ඇත්තේ තමන් විසින්ම බලයට පත්කරනු ලැබූ රජයක් පිළිබදව විශ්වාසය තවදුරටත් පවත්වා ගැනීමටත් සහ එසේ පළකරනු ලබන විශ්වාසය මත රජයයේ ක්‍රමානුකූල කාර්යක්ෂමතාවය ඉහළ දමා ගැනීමේ අපේක්ෂාව මත බව අපගේ විශ්වාසයයි.
කෙසේ වෙතත්, පාලනයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවීම ඇනහිටින විට සහ ආර්ථික දුෂ්කරතා දිගින් දිගටම පවතින විට, රජය වෙනුවෙන් තම විශ්වාසය මත ලබාදෙන සහන කාලය කෙටි වීමේ සම්භාවිතාවයක් මෙම මත විමසුම තුළින්ම පෙන්නුම් කර තිබේ.
අපට අනුව මෙම මත විමසුම මගින් එළිදක්වන දත්ත, අතිශය සිත්ගන්නා සුලුය. එමෙන්ම එම දත්ත මගින් වර්තමාන සමාජය තුළ පවතින ආකල්පයන්ගේ විරෝධාභාෂයන් මැනවින් පෙන්නුම් කොට තිබේ.
මහජනතාව ප්‍රධාන වශයෙන් තමන් මුහුණ දෙන ආර්ථික ගැටලු පිළිබඳව දැඩි කළකිරීමකින් පසුවන අතරේම, රජයේ පාලන ධාරිතාව සහ නායකයා කෙරෙහි තවමත් අතිමහත් ලෙස "සතුටින්" පසුවන බව පෙන්නුම් කරයි.මෙම පැහැදිලි පරස්පරතාව දේශපාලනික වශයෙන් නිවැරදිව වටහා ගැනීම අතිශයින්ම වැදගත් වන්නේය.වර්තමාන රජය පිළිබදව ආර්ථික අගහිඟකම් පිළිබදව පවතින අප්‍රසාදය ඉහළ මට්ටමක තිබුණද, රජයේ දේශපාලන ප්‍රාග්ධනය තවමත් සුරක්ෂිතව පැවතීම දෙස බලන කළ මහජනතාව එකිනෙකට පටහැනි අදහස් දෙකක් එකවර දරන්නේ කෙසේද යන්න පිළිබදව මුලිකව අපගේ අවධානය යොමුවිය යුතුය.
51.4%ක් තමන්ගේ ගෘහස්ත ආර්ථික තත්ත්වය නරක අතට හැරී ඇති බව පවසන අතර, ජීවන වියදම කළමනාකරණය කිරීම පිළිබඳව රට සමසේ බෙදී පවතින පසුබිමක වුවද, ජාතික ජන බලවේගයේ (NPP) පාලන ධාරිතාව පිළිබඳව පවතින 62.8%ක තෘප්තිමත්භාවය මඟින් ගම්‍ය වන්නේ මහජනතාව තවමත් පාලනයේ ප්‍රතිඵල සහ පාලකයා එකිනෙකින් වෙන්කර සලකන බවයි. ඒ අනුව මහජනතාව සිතන බව පෙනෙන්නේ රජය කටයුතු කරමින් සිටින්නේ පෙර පාලන තන්ත්‍රයන් විසින් ක්‍රමානුකූලව විනාශ කරන ලද ආයතනික සහ ආර්ථික ව්‍යුහයක් සමඟ බවයි. ඔවුන් මෙම දුෂ්කරතාවලට වගකිව යුත්තේ පැරණි ක්‍රමය යැයි පවසන අතරම, එය කාර්යක්ෂමව නිවැරදි කිරීමට උත්සාහ කිරීමේ ගෞරවය NPP රජයට ලබා දිය යුතු බව සමාජය සිතන බවක් මෙම දත්ත මගින් පෙන්වා දෙනු ලබයි.
මෙම සමාජ මානසික භාවය අප හදුනාගත යුත්තේ “යහපත් චේතනාවක් සහිත සමාජයක් තමන්ට උරුම වූ ක්‍රමයක් මගින් ලබා දෙන ප්‍රථිපල අතර පවත්වා ගෙන යන සහන කාලයක්" ලෙසටය.
ආර්ථික නොවන, සංකේතීය සහ ව්‍යුහාත්මක ප්‍රතිඵල සම්බන්ධයෙන් රජය ඉතා ඉහළ ලකුණු ලබා ගෙන තිබේ. උදාහරණයක් ලෙස, දිට්වා (Ditwah) සුළි කුණාටුව හා එය කළමනාකරණය මෙන්ම සහන සේවා සම්බන්ධයෙන් 68.6%ක් සතුටු වන අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් 51.6%ක් සතුටු වන බව පෙනෙති.
නමුත් දිට්වා කුනාටුවේ ඇතැම් හානිකර ප්‍රථිපල රජයේ නොසැලකිල්ල නිසා ඇතිවුවක් බවට විපක්ෂය කියු කතා සමාජයේ අවධානය යොමු නොවු බවක් මෙමගින් පෙන්නුම් කරති.
සමස්තයක් ලෙස ගත් කළ මෙම දත්ත මගින් ගොඩනැගිය හැකි අනුමිතිය වන්නේ මහජන මනස තුළ, රජය විසින් ආපදා කළමනාකරණය තුළ පෙන්වා ඇති කාර්යක්ෂමතාව මෙන්ම දූෂණ විරෝධය/වගවීම වැනි යහපාලනයට බර තැබීම, ගෘහස්ත ආර්ථිකයේ පවතින පීඩනය තාවකාලිකව සමනය කොට තිබෙන බවයි.
ඒ සඳහා ප්‍රබල ආධාරයක් සපයා ඇත්තේ අනුර ජනාධිපතිවරයා සහ විපක්ෂ නායක සජිත් අතර පෙන්නුම් කරන විශ්වාසයේ පරතරය සහ නායකත්වයේ පෞරුෂය අතර පවතින වෙනසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 75.5%ක ඉහළ මහජන මනාපයක් භුක්ති විඳින කල , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 64.9%ක ඉහළ අතෘප්තිමත්භාවයකින් පීඩා විඳින බව පෙන්නුම් කොට තිබේ.
ඒ අනුව පෙන්නුම් කරන්නේ වත්මන් දේශපාලන ගතිකයන් ගේ යථාර්ථමය ස්වරූපය දැඩි ලෙස පුද්ගල පෞරුෂය මත පදනම් වී ඇති බවකි.
එම දත්ත මගින් යෝජනා කරනු ලබන අනුමිතිය වන්නේ මහජනතාව ජනාධිපතිවරයාව දකින්නේ යහපත් චේතනාවෙන් යුත්, දූෂණයෙන් තොර සහ දක්ෂ නායකයෙකු ලෙසටය. විපක්ෂ නායකයාව දකින්නේ ඡන්දදායකයින් විසින් ප්‍රතික්ෂේප කරන ලද පැරණි දේශපාලන සංස්ථාපිතයේ කැඩපතක් ලෙසට බවය.
එයින් කියන්නේ විපක්ෂයේ පවතින විකල්පයන්ට වඩා තමන් විශ්වාස කරන නායකයෙකු යටතේ පවතින ආර්ථික දුෂ්කරතා විඳදරාගැනීමට මහජනතාව සුදානම් බවකි.
ඒ තුළින් ලබා ගත යුතු පාඩම වන්නේ හුදෙක් ආර්ථිකය ගැන පමණක් කෑගැසීම ප්‍රමාණවත් නොවන බවකි. රජය විසින් මහජන අපේක්ෂාවන් මඟහරිමින්, ව්‍යුහාත්මකව රට වෙනස් කිරීමට උත්සාහයක් නොදරන බවටත් සමාජ මතයක් පවතින බව මෙම සමීක්ෂණය හෙලිදරව් කර සිටී.
මහජනතාවගෙන් අතිමහත් බහුතරයක් (64.1%) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂපාතීව සිටී. ඉන් 40.5%ක් එය වහාම කළ යුතු ප්‍රමුඛතාවක් නොවන බව පැවසුවද, මහජන මතය පැහැදිලිය. ජනතාව ව්‍යුහාත්මක වෙනසක් අපේක්ෂා කරති.රජය බලයට පත් වූයේ ව්‍යුහාත්මක පරිවර්තනයක පොරොන්දුව පිටය. තමන්ගේම බලය තහවුරු කර ගැනීම සඳහා ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රමාද කරන්නේ නම්, එය විශාල දේශපාලන අප්‍රසාදයකට පදනමක් වන්නේය. තමන් විනාශ කරනවා යැයි පොරොන්දු වූ ඒකාධිපති මෙවලම්වලින්ම NPP රජය මත් වී ඇති බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවාදීමක් ලෙස අර්ථ ගැන්වීමට විභවයක් මෙම ජනමතය නියෝජනය කරනු ලබයි.
එසේම මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පලුදු වීමේ තවත් ඉස්ව්වක් ලෙස පෙනෙන්නට තිබෙන්නේ පළාත් සභා මැතිවරණයයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැදගත් බව ශ්‍රී ලාංකිකයන්ගෙන් 67.0%ක් සලකන අතර, මෙම හැඟීම සියලුම ජනවාර්ගික කණ්ඩායම් අතර (63.4% සිට 70.4% දක්වා) පොදුවේ පවතින බව පෙන්නුම් කොට තිබේ.
නමුත් මෙම මැතිවරණ පැවැත්වීමට අපොහොසත් වීමෙන්, රජය විසින් විමධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී ජනවරම සක්‍රීයව නොසලකා හරිමින් සිටින බව තවමත් සමාජය නොතකන බව ද පෙනෙන්නට තිබේ.
පළාත් සභා යනු ප්‍රාදේශීය පාලනය සහ බලය බෙදා හැරීමේ අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස සලකන සුළුතර ප්‍රජාවන් (දෙමළ, මලයාල දෙමළ සහ මුස්ලිම්) සලකනු ලැබුවද එම කරුණ රජය විසින් මගහරිමින් සිටින බව දැන දැනම මෙරට සුළු ජාතික ප්‍රජාවගෙන් බහුතරය වර්තමාන රජයට සිය පක්ෂ පාතීත්වය පළකොට සිටී.මෙම තත්වය, ආර්ථික දුෂ්කරතා නොතකා රජයේ පාලන සංස්කෘතියට සහාය දීමට සමාන තත්ත්වයකි.
නමුත් දත්ත මඟින් රජය පිළිබදව පවතින ප්‍රසාදය පිළිබද පැහැදිලි ජනවාර්ගික බෙදීමක්ද පෙන්නුම් කරනු ලබයි.සුළුතර ප්‍රජාවන් අතර NPP හි පාලන ධාරිතාව පිළිබඳ තෘප්තිමත්භාවය 80%කට ආසන්න වුවද, සිංහල ප්‍රජාව අතර එය 57.3%ක් දක්වා සැලකිය යුතු ලෙස පහත අගයක් ගන්නා බව පෙනේ. එමෙන්ම ඔවුන් ඉහළම අතෘප්තිමත්භාවය (26.5%) ද වාර්තා කරයි. තවද, සිංහලයන්ගෙන් 53.9%ක්ම තම ගෘහස්ත ආර්ථිකය නරක අතට හැරී ඇති බව පවසති.
ඒ අනුව අපට ලඟා විය හැකි තවත් අනුමිතියක් වන්නේ අපේක්ෂාවන් සහ යථාර්ථය අතර පවතින දැඩි ඝර්ෂණය වඩාත්ම අත්විඳිමින් සිටින්නේ සිංහල බහුතරය බවය.
සිංහල සමාජය කවදත් ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්කම්වල සාම්ප්‍රදායික උච්චාවචන පදනම බව සැලකු කළ අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම් වලට වඩා වේගයෙන් ජනමතය තුළ පවතින තමන්ගේ ආර්ථික ජීවිතය පිළිබදව අප්‍රසාදය පවතින සමාජීය අභිලාෂයන් අභිබවා යමින් දේශපාලන විරසකයක් බවට පත්වීමට විභවයක් පවතින බව පෙන්නුම් කරයි. නමුත් එය රඳා පවතින්නේ සමාජය තුළ විශ්වාසය ගොඩ නගා ගන්නා විපක්ෂයකට සමාන්තරව බව මෙම මත විමසුම තුළින් ඇති කරගත හැකි අවසාන අනුමිතිය වන්නේය.
විපක්ෂය තමන්ව ස්ථානගත කළ යුත්තේ පැරණි තත්ත්වයට (Status Quo) නැවත ගමන් කරන්නෙකු ලෙස නොව, මහජනතාව ඉල්ලා සිටින සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථික ප්‍රතිසංස්කරණවල නියම ඇපකරුවා ලෙසය.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

