යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එපිට අර්බුදය!

The Pulse of Sri Lanka 0

බලගතු ජාතික ජනබලවේගය (NPP) පක්ෂයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරන නීතිඥ ලාල් විජේනායක ජාජබ සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙහෙයවන කැබිනට් මණ්ඩලයේ තීරණයකට ප්‍රසිද්ධියේ එරෙහි වීම එම පක්ෂයේ නායකත්වය කිසිසේත්ම බලාපොරොත්තු නොවන්නට ඇත. ජනාධිපති නීතිඥයකු වන විජේනායක ජාජබ විධායක සභාවේ මෙන්ම මෙහෙයුම්කාරක සභාවේ ද සාමාජිකයෙකි.


ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දිගු කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාන්‍ය සාමාජිකත්වයේ සභාගිත්වයෙන් ජූලි 29 පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබූ යෝජනාවට විජේනායක ද සහයෝගය දැක්වීය. එම ඉතිහාසගත වන තීරණය කොළඹ 12 මිහිඳු මාවතේ නීතිඥ සංගමයේ ලේකම් කාර්යාලයේ ඉදිරිපිට මාධ්‍යයට ප්‍රකාශ කළ අවස්ථාවේ දී නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියගේ දකුණු පසින් විජේනායක විය. නීතිඥ සංගමයද විජේනායක ගනු ලැබූ ඍජු ක්‍රියාමාර්ගය පිළිබඳව පුදුම වන්නට ඇත.


දශක 5 කට වඩා වැඩි කාලයක් නීතිඥ වෘත්තියේ යෙදී ඇති විජේනායක රජයට කළ අනතුරු ඇඟවීම ඉවතලන්න නොහැකිය. ජාජබට හිමි විධායක සහ ව්‍යවස්ථාදායකයේ බලයෙන් විජේනායක මතු කළ සත්‍යය යටපත් කළ නොහැක. තවත් ජනාධිපති නීතිඥවරුන් හතර දෙනකු සමග මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් විජේනායක අවධාරණය කළේ තමන් අදාළ සංශෝධනයට විරුද්ධ වූ බවත්, පක්ෂයක් ලෙස ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගත් බවය. Lawyers Collective විසින් ජුලි 27 කැප්රි ක්ලබ් සවස සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන් දෙදෙනකු වන ජෙෆ්රි අලගරත්නම් සහ සාලිය පීරිස් සහභාගි විය. ඊට අමතරව එම්. ඒ. සුමන්තිරන් සහ ශ්‍රීනාත් පෙරේරා ද යෝජිත සංශෝධනය කිසිසේත් සුදුසු නොවන බවට කරුණු ඉදිරිපත් කළේය.


ජාජබ නායකත්ව මණ්ඩලයේ ලාල් විජේනායක තනි වෙයි


කිසිවකු බලාපොරොත්තු නොවූ විජේනායක ගනු ලැබූ තීරණය නීතිඥ සංගමයට තීරණාත්මක ශක්තියක් වූ බව පැහැදිලිය. මොනයම්ම තත්ත්වයක් යටතේදිවත් අදාළ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සම්මත කර ගනු ලැබූ යෝජනාව හකුළා ගන්නේ නැති බව නීතිඥ සංගමය අවධාරණය කර ඇත. අදාළ යෝජනාව ඒකමතිකව සම්මත කර ගනු ලැබූ දිනයේදීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සමග නීතිඥ සංගමයේ නියෝජිතයන් එම අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවේදී අමරසූරිය තම ස්ථාවරය අවධාරණය කළේය.


ඒකපාර්ශ්වික ක්‍රියාවලිය නතර කරන ලෙස දිසානායක ජනාධිපතිවරයාගෙන්, රජයෙන් සහ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් නීතිඥ සංගමය ඉල්ලා සිටිය අතර දිසානායක ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක අවශ්‍යතාවය අවධාරණය කළේය.


නීතිඥ සංගමයේ සභාපති ධුරයට අමරසූරිය නිතරඟයෙන් දෙවන වාරයට 2026 මාර්තු 28 පත්වන අවස්ථාවේදී ජාජබ මෙහෙයුම ආරම්භ වී තිබිණි. ඊට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක් එල්ල නොවන බවට රජය සහ ඒ වෙනුවෙන් පෙනී සිටි අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු කණ්ඩායම විශ්වාස කළ බවට සැකයක් නැත. සූරසේන 2025 ජුලි 27 වැනි දින ශ්‍රී ලංකාවේ 49 වන අගවිනිසුරු ලෙස දිසානායක ජනාධිපතිවරයාගේ අතින් පත්වීම ලැබීය. ජාජබ අත්තනෝමතික ලෙස මේ ආකාරයට කටයුතු කරන්නේ වර්තමාන අගවිනිසුරුවරයාගේ කාලය දීර්ඝ කිරීමට බව සමගි ජනබලවේගයේ (සජබ) මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී චෝදනා කර ඇත.


පාර්ලිමේන්තුවේ අසමසම තුනෙන් දෙකේ තනි බලයක් හිමි ජාජබට මැති සබය තුළ හෝ එයින් පිටත විපක්ෂයෙන් අභියෝගයක් නැත. විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග ජාජබට අභියෝගයක් නොවේ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 18 ක් සමග ආසන 159 හිමි ජාජබ ආඥාදායක ස්වරූපයෙන් හැසිරීම පොරොන්දු වූ ‘සිස්ටම් චේන්ජ්’ නැතහොත් පැවති පාලන ක්‍රමය වෙනස් කිරීමට දුන් පොරොන්දුව කඩ කිරීමකි.


ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් 2013 දී අනීතිකව ඉවත් කිරීමට සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කොමිටිය ඉදිරියට කැඳවීමට 2023 කටයුතු කළ පීරිස් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය ජාජබ අධිකරණ පද්ධතිය විනාශ කරන බවට කරන ප්‍රකාශ දැඩි අවඥාවට ලක්වීම සාමාන්‍ය තත්ත්වයකි. විපක්ෂය එම තත්ත්වය බලාපොරොත්තු විය යුතුය. මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන් අධිකරණයට කළ ඍජු බලපෑම් සහ පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කළ හිංසාකාරී වැඩපිළිවෙළ අමතක කර වර්තමාන ආණ්ඩුවේ ඒකාධිපති හැසිරීම කිසිසේත්ම සාකච්ඡා කළ නොහැක. ජුලි 27 මාධ්‍ය හමුවේ සාලිය පීරිස් රජයට බලාපොරොත්තු නොවන ප්‍රහාරයක් එල්ල කළේය. ජාජබ රජය යම් නියමිත කාලයක් තුළ මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උත්සහ කිරීම පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපති නීතිඥවරයා වර්තමාන රජයේ උපායමාර්ගය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දෝෂාභියෝගයකට ලක්කිරීම සමග සංසන්ධනය කිරීමෙන් දැනට විපක්ෂයේ ක්‍රියාත්මක කණ්ඩායමට දැඩි කණේ පහරක් එල්ල කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජාජබ ජාතික විධායක සභාව තීන්දුවක් නොගත් බවත් ඒ පිළිබඳව කතා නොකර සිටීමට තමන්ට දැනුම් දුන් බවට නීතිඥ ලාල් විජේනායක කර ඇති ප්‍රකාශයට ආණ්ඩු පක්ෂය අභියෝග කළේ නැත. කිරීමට නොහැකිය. නමුත් ජාජබ ලැජ්ජාවට පත්වූ බව සැකයකින් තොරව කිව හැකිය.


ජාජබ සහ ජවිපෙ නායක දිසානායක 2024 සැප්තැම්බර් 21 ජනාධිපති ධුරයට පත්වූවාට පසුව ආණ්ඩුව මුහුණ දෙන බරපතළම අභියෝගය මෙයයි. නීතිඥ ලාල් විජේනායක අභියෝග කර ඇත්තේ පක්ෂයේ විධායක සභාවට පමණක් නොවේ ජනාධිපතිවරයා නායකත්වය දෙන කැබිනට් මණ්ඩලයට බව අමතක කළ නොහැක. පාර්ලිමේන්තුවේදී විධායක බලතල ක්‍රියාත්මක කරන්නේ එම අමාත්‍යවරුය. වෙනත් ආකාරයකින් කිවහොත් විජේනායක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය අනුමත කර ඇත. එතුමා ගනු ලැබූ ස්ථාවරය හේතුවෙන් තවදුරටත් ඔහුට ආණ්ඩු පක්ෂයේ තීන්දු තීරණ ගනු ලබන ව්‍යුහයන්ගේ සිටිය නොහැක. පක්ෂය විසින් විජේනායකව ඉවත් නොකළත් තව දුරටත් ජාජබ සමග කටයුතු කිරීමට ඔහුට නොහැකිය.


ජාජබ විසින් නිරපරාදේ ඇති කළ ප්‍රශ්නය ජනතාවට නොදැනෙන නමුත් දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇත. ආණ්ඩුවට මෙන්ම නීතිඥ සංගමයට තම ස්ථාවරය අත හැරීමට නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දිසානායක ජනාධිපතිවරයා අවධාරණය කර ඇති අවශ්‍යතාවය පැහැදිලිය. යෝජිත සශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විගස එය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්වන බව අමුතුවෙන් කිවයුතු නැත. එසේ වුවහොත් යෝජිත සංශෝධනය මගින් අර්ථලාභියන් වීමට නියමිත රටේ ඉහළම අධිකරණයේ විනිසුරුවරුන්/විනිසුරුවරියන් විසින් අදාළ පෙත්සම් විභාග කිරීම අවාසනාවන්ත තත්ත්වයකි. සමස්ත අධිකරණ ක්‍රියාවලියම අභියෝගයට ලක්වන අවස්ථාවකි. තමන් පාර්ශ්වකරුවකු වී ඇති නඩුවක් විභාග කිරීම මොනයම්ම තත්ත්වයකදී වුවද සදාචාරාත්මක නොවන බව කවුරුත් දනී.


ඊට ඇති එකම පිළිතුර ජනමත විමසුමකි. නීතිඥ සංගමය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයෙන් සම්මත වීමට අමතරව ජනමත විමසුමක අවශ්‍යතාවය අවධාරණය කර ඇත.


පළාත් සභා ඡන්දය පැවැත්වීමට අකමැති ජාජබ ජනමත විචාරණයක් පැවැත්වීමට සිහිනයකින්වත් සිතන්නේ නැත. අකමැති හේතුව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ ජනමත විචාරණ සම්බන්ධයෙන් අතිශය පිළිකුල් ඉතිහාසය කෙටියෙන් හෝ සඳහන් කළ යුතුමය. මෙරට පවත්වන ලද එකම ජනමත විමසුම 1982 දෙසැම්බර් 22 පැවැත්වීය. ඒ ආඥාදායක ජූනියස් රිචඩ් ජයවර්ධනගේ අවශ්‍යතාවය මත පාර්ලිමේන්තුවේ කාලය තව වසර 6 කින් දීර්ඝ කිරීමටය. එම ජනමත විමසුම මැර බලයෙන් 54.5% ඡන්ද ලබා ගනිමින් ජයග්‍රහණය කළ ජයවර්ධනගේ එජාපය 1983 පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය අතුරුදන් කළේය. එජාපය ඉහළින්ම ජයග්‍රහණය කළ 1977 පැවැත්වූ මහ මැතිවරණයෙන් පසුව නැවතත් මහ මැතිවරණයක් පැවැත්වීම සිදුවූයේ 1989 දීය.


තම දුෂ්ට සහ පටු දේශපාලන අරමුණ වූ පාර්ලිමේන්තුවේ 5/6 බලය ඒ ආකාරයෙන්ම රැකගැනීමට එජාප රජය ජනමත විමසුම අවභාවිතා කළා යැයි කීවත් වරදක් නැත. එතැන් සිට අද දක්වා නොයෙකුත් අර්බුදකාරී අවස්ථාවන්හිදී ජනමත විමසුමක් පැවැත්විය යුතු යැයි නොයෙකුත් පක්ෂ යෝජනා කළත් කිසිදු රජයක් ඒ මාර්ගය තෝරාගෙන නැත. සැකයක් නොමැත ජාජබ ද ජනමත විමසුමක් පවත්වන්නේ නැත. නැවතත් ශ්‍රී ලංකාව තුළ ජනමත විචාරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැත. ඒ ලියුම්කරුගේ කියවීමයි.


සෞඛ්‍ය සහ මාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස දැනටමත් අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට නීතිමය අවශ්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කර ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයා එම ප්‍රකාශය කරන අවස්ථාවේ දී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ද පසෙකින් විය.


වසර 1983 දී පුපුරා ගිය දෙමළ බෙදුම්වාදී යුද්ධය සහ දෙවන ජවිපෙ කැරැල්ල (1986-1990. එම කැරැල්ලේ ආරම්භය 1986 ලෙස සඳහන් කිරීමට හේතුව කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක දයා පතිරණ ඝාතනය 1986 දෙසැම්බර් මාසයේ ජවිපෙ විසින් සිදු කිරීමය. ජවිපෙ කැරළි සහ ඒ හා සම්බන්ධ සමස්ත තත්ත්වය පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම කෙනකු ප්‍රවීන කතෘ ධර්මන් වික්‍රමරත්නගේ පසුගිය කාලයේ එළිදැක්වූ පොත් කියවිය යුතුය) ඇතිවීමට එජාපය විසින් 1983 පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය අතුරුදන් කිරීම දැඩි බලපෑමක් කළ බව කිසිදු සැකයකින් තොරව පැවසිය හැකිය.


නීතිඥ සංගමය ඇතුළු ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සෑම කණ්ඩායමක්ම පාහේ යෝජිත සංශෝධනයට දැඩි විරෝධය පළකර ඇත. ඊට සහයෝගය පළකරමින් ජුලි 30 දක්වා ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ The Lawyers for Public Mandate (LPM) යන ජාජබ ට අනුබද්ධ සංවිධානය පමණි. ජාජබ වෙනුවෙන් ජාතික මැතිවරණ සමයේ සැලකිය යුතු මැදිහත්වීමක් කළ රට හඳුනන නීතිඥයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් පෙනේ. නමුත් නීතිඥ සංගමය අදාළ යෝජනාව සම්මත කර ගැනීමෙන් පසුව නීතිඥයන් කණ්ඩායමක් ඊට එරෙහිව අදහස් දැක්වීමක් සිදුවිය. එම කණ්ඩායමට රජය අකමැත්තෙන් හෝ නීතිඥ සංගමය සමග සාකච්ඡාවකට අවතීර්ණ වී ඇති බව අමතක වී තිබිණි. ඔවුන්ට ලාල් විජේනායක කළ ප්‍රකාශය ද අමතක වී තිබිණි.


ජාජබ යෝජනාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස 65 සිට 67 දක්වා වැඩි කිරීමට නියමිතය. අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් විශ්‍රාම යන වයස 63 සිට 65 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත. අගවිනිසුරු සම්බන්ධයෙන් විශ්‍රාම යෑමේ වයස 67 දී හෝ එම පත්වීම ලැබූ දිනයේ සිට වසර හයක කාලයක් යන දෙකින් පළමුව උදාවෙන අවස්ථාව බවට යෝජනා වී ඇත. මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ කාලය වයස 61 සිට 63 දක්වා වැඩි කර ඇති අතර මහෙස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික්ක විනිසුරුවරුන් ගේ විශ්‍රාම යෑමේ වයස 60 සිට 62 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත.


අතිශය ආන්දෝලණාත්මක සංශෝධනය ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය කිරීමට ජාජබ සහ Lawyers for Public Mandate (LPM) ඉදිරිපත් කර ඇති ප්‍රධාන හේතුව අධිකරණයේ හිරවී ඇති විශාල නඩු ප්‍රමාණයයි. අධිකරණ ක්‍රියාවලිය ඉතාමත් මන්දගාමී බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් අධිකරණ ක්‍රියාවලිය ජනතාව දැඩි කනස්සල්ලට පත් කර ඇති බව පිළිගෙන ඇති ජාජබ රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු හතර බැගින් මාස ගණනාවක් පවත්වාගෙන යෑම කිසිසේත් පිළිගත නොහැක. කැප්රි මාධ්‍ය හමුවේදී සාලිය පීරිස් අවධාරණය කළේ නඩු තදබදයේ බලපෑම ඍජුවම දිස්ත්‍රික්ක සහ මහෙස්ත්‍රාත් අධිකරණවලට බවය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තදබදයක් නොමැති බව අවධාරණය කළ සාලිය පීරිස් ආණ්ඩුවේ ප්‍රධාන තර්කය කුඩුපට්ටම් කළේ කිසිදු ආයාසයකින් තොරවය.


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නීතිඥ රවුෆ් හකීම් මෑතකදී ඒ ඉහළ අධිකරණයේ පුරප්පාඩු පිරවීම චේතනාන්විතව පරක්කු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ජාජබ රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළේය. බලහත්කාරයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට ජාජබ කළ උත්සාහය තේරුම්ගත නොහැක. රජයට නීතිඥ සංගමය සමග යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඍජුව සාකච්ඡා කිරීමට අවස්ථාවක් තිබිණි. නීතිඥ සංගමය 2026 මාර්තු 30 වන දින (රජීව් අමරසූරිය නිතරඟයෙන් සභාපති ධුරයට පත්වී දින දෙකකට පසුව) හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගෙන් යෝජිත සංශෝධනය පිළිබඳව විමසමින් යැවූ ලිපියට පිළිතුරු ලැබුනේ නැත. අධිකරණ අමාත්‍යවරයා ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා නීතිඥ සංගමය එම කාරණය සම්බන්ධයෙන්ම දිසානායක ජනාධිපතිවරයාට 2026 මැයි 25 වන දින යොමු කළ ලිපියට ද පිළිතුරු දීමෙන් රජය වැලකී සිටියේය. නැවතත් නීතිඥ සංගමය අධිකරණ අමාත්‍යවරයාට 2026 ජුලි 16 වන දින යොමුකළ ලිපියෙන් පසුව ජුලි 29 වන දින සාකච්ඡාව සිදුවිය.


නමුත් ජුලි 16 සහ 29 අතර කාලය තුළ ජාජබ කැබිනට් මණ්ඩලය යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවට නිල ප්‍රකාශයක් කළ අතර නීතිඥ සංගමය ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීම ද සිදුවිය. තවත් වැදගත් සහ අවධානය යොමුකළ යුතු කරුණක් ඇත. මීට පෙර ආණ්ඩු අනුගමනය කළ අශෝභන දේශපාලන උපක්‍රමයක් මෙම ආණ්ඩුවද ක්‍රියාවට නැඟුවේ ඉතාමත් අප්‍රසන්න තත්ත්වයක් ඇතිකරමිනි. විරුද්ධ මතයක් දරන පුද්ගලයකුට හෝ සංවිධානයකට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමට පාර්ලිමේන්තුව පාවිච්චි කළ හැකිද? පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් ඕනෑම ආකාරයේ ප්‍රකාශයක් කිරීමට මැති ඇමැතිවරුන්ට ලැබෙන ආරක්ෂාව සාධාරණද?


ඉහළ නායකත්වයේ ආශිර්වාදය ඇතිව ජාජබ මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන නීතිඥ සංගමයේ සභාපති අමරසූරිය ඉලක්ක කර පාර්ලිමේන්තුව තුළ කළ ප්‍රකාශය අවධාරණය කළේ ‘සිස්ටම් චේන්ජ්’ වී නැති බවයි. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නවක මන්ත්‍රීවරයා ආන්දෝලණාත්මක චෝදනාවක් කළේය. ඒ අමරසූරිය යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතිඥ සංගමය මෙහෙයවන්නේ ඔහු සජබ නායක සජිත් ප්‍රේමදාස සමග ඇතිකර ගත් රහස් ගිවිසුමක් නිසා බවයි. ඒ අනුව සජබ විසින් අමරසූරියව තමන්ගේ බස්නාහිර පළාතේ මහ ඇමැති අපේක්ෂක ලෙස නම් කරනු ඇත. එම මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයක් නොවේ. එය පාර්ලිමේන්තුව නියෝජනය කරන 159 ක් වන ජාජබ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් කළ ප්‍රකාශයකි.


අසූචි වළක් වන ශ්‍රී ලංකා දේශපාලනයට මොනයම්ම තත්ත්වයක් යටතෙදිවත් අමරසූරිය ඇතුළු නොවන බවට සැකයක් නැත. ජාජබ මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරන අවස්ථාවේදී නියෝජ්‍ය කථානායක රිස්වි සලේ මූලාසනයේ විය.


ජාතික විගණන කාර්යාලය හෙළිදරව් කළ අහස පොළොව නුහුලන ගල් අඟුරු වංචාව, ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 මහා භාණ්ඩාගාරයෙන් අතුරුදන් වීම, කොළඹ වරායෙන් බහාලුම් 323 සහ ඊට මත්ද්‍රව්‍ය බහලුම් දෙකක් පිටකිරීම අවධාරණය කළේ ‘සිස්ටම් චේන්ජ්’ හුදු සටන් පාඨයක් නැතහොත් උද්‍යොග පාඨයක් පමණක් බව නොවේද? ලැජ්ජාවක් නොමැති ශ්‍රී ලංකා දේශපාලනය තවමත් සුපුරුදු අනීතික මාර්ගයේය.


අමරසූරියට පහර දීම හරහා නීතිඥ සංගමයේ සටන මොට කිරීමට ජාජබ කළ උත්සාහය ලජ්ජාසහගතය. ඒ ප්‍රකාශය සත්‍යයක් නම් අමරසූරිය නායකත්වය දෙන නීතිඥ සංගමය සමග රජය කතා කිරීමේ තේරුමක් නැත.


කෑගල්ලේ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් නියෝජ්‍ය කථානායක රිස්වි සලේ ප්‍රකාශ කළේ ජනතා නියෝජිතයන්ව පාර්ලිමේන්තුවට පත්කර එවිය යුතුවන්නේ රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස මිස දේශපාලනඥයන් ලෙස නොවෙයි.


අමරසූරිය හරහා නීතිඥ සංගමය සජබ අතකොළුවක් වීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට සමාන චෝදනාවක් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොවැම්බර් 24, 2023 පාර්ලිමේන්තුවේදී කළේය. අරගලය ලෙස නම් කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පහ කිරීමේ මෙහෙයුම සමයේ නීතිඥ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ සාලිය පීරිස් අග්‍රාමාත්‍ය ධුරය පැතූ බවයි. එවකට ඉලන්කෙයි තමිල් අරසුකච්චි පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කළ සුමන්තිරන් වික්‍රමසිංහට කළ චෝදනාවකට පිළිතුරු ලෙස එලෙස පැවසීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, දේශපාලන පක්ෂ සහ නීතිඥ සංගමය අතර ඇතිවූ එකඟතාවය කඩකරමින් එජාප ණයකර අග්‍රාමාත්‍ය ධුරය ලබා ගත් බව සුමන්තිරන් කළ චෝදනාවයි.


සාලිය පීරිස්ට ජනාධිපති වික්‍රමසිංහ කළ චෝදනාව


ඊට පිළිතුරු දෙමින් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ 2022 මැයි 09 සිදුවූ සිද්ධීන් හේතුවෙන් තත්ත්වය වෙනස් වූ නමුත් නීතිඥ සංගමය බලාපොරොත්තු වූයේ අග්‍රාමාත්‍ය ධුරය පාර්ලිමේන්තුවෙන් පිටත සිටින පුද්ගලයකුට ජාතික ලැයිස්තුව හරහා පිරිනැමීමටයි. ඒ පුද්ගලයා සාලිය පීරිස් බවයි.


සාලිය පීරිස් එම චෝදනාව වහාම ප්‍රතික්ෂේප කළේය. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මෙවැනි සත්‍යයෙන් තොර ප්‍රකාශ කරන බවට ජනාධිපතිවරයාට ඔහු චෝදනා කළේය. තමන් වික්‍රමසිංහ වැනි පෞද්ගලික අභිලාශ මුදුන්පත් කර ගැනීමට කටයුතු කරන පුද්ගලයෙකු නොවන බවත් නීතිඥ සංගමය අදාළ සාකච්ඡා ක්‍රියාවලියට සහභාගි වූයේ ඒවන විට උද්ගතවී තිබූ දැඩි දේශපාලනික සහ පරිපාලන අර්බුදකාරී තත්ත්වය විසඳීමට බව ප්‍රකාශ කළේය.


පුනුරුත්ථාපනය කළ යුතු මැති සබය


රටේ උත්තරීතරම ආයතනය විය යුතු පාර්ලිමේන්තුව තවමත් පුනුරුත්ථාපනය වී නැත. තවමත් සුපුරුදු අනීතික මාර්ගයේ බව පැහැදිලිය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දිගු කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය අවධාරණය කරන්නේ පාර්ලිමේන්තු ක්‍රමය තවමත් වෙනස් වී නැති බවයි. බොහෝවිට ව්‍යවස්ථා සංශෝධන තවමත් පක්ෂ සහ පුද්ගලයන් කේන්ද්‍රකර ක්‍රියාත්මක කරන බවයි. පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අධිකරණය ඉදිරිපිට 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළේ තම පියාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව සැලසීමට බව ප්‍රකාශ කළේය. වසර 2010 සැප්තැම්බර් 8 මන්ත්‍රීවරු 161 පක්ෂව සහ 17 විරුද්ධව සම්මත කර ගත් එම සංශෝධනය එදා බලයේ සිටි මෙම ලියුම්කරු ද ඡන්දය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය (UPFA) විනාශ කළ මුල් පියවරයි. තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු නොකළ අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයක් හරහා 2013 ජනවාරි මාසයේ ඉවත් කිරීම ආණ්ඩු පක්ෂයේ පරිහානිය වේගවත් කළේය. ඉතිහාසය අවධාරණය කරන සත්‍යය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට නොදැනීම පුදුමයකි. වර්තමාන තත්ත්වයේද වෙනසක් නොමැත.


ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Bottom Post Ad